හැටන් - කොළඹ කොන්දොස්තරලා හිතූමතේට වැඩ


(රංජිත් රාජපක්ෂ)

හැටන් ලංගම ඩිපෝව මගින් දිනපතා කොළඹ දක්වා ධාවනය වන ලංගම බස් රථවලට අවිස්සාවේල්ල  දක්වා ගමන් ගන්නා මගින්ට ගමන් කිරිමට අවස්ථාව ලබා නොදිම නිසා මගිහු දැඩි අසිරුතාවයකට පත්වී සිටිති.

දිනකට හැටන් ඩිපෝවේ සිට කොළඹ දක්වා බස් රථ 20ක් පමණ ධාවනය වන අතර ඉන් බස් රථ ගණනාවකම කොන්දොස්තරවරුන් මෙම ක‍්‍රමය අනුගමනය කරන බවට මගිහු චෝදනා කරති.

පවත්නා එම තත්ත්වය මත මගින්ට ප‍්‍රවේශ පත‍්‍ර ගාස්තු සඳහා වැඩි පුර මුදලක් ගෙවා පෞද්ගලික බස් රථවලින් තමන්ගේ ගමනාන්තය දක්වා යෑමට සිදුවි ඇති බව කියති.

මේ සම්බන්ධයෙන් අප හැටන් ලංගම ඩිපෝවේ ඩිපෝ පරික්‍ෂක රෝහණ ද සිල්වා මහතාගෙන් කළ විමසුමකට ඔහු පවසා සිටියේ බස් රථයට ගොඩ වන මගින්ට එවැනි ප‍්‍රකාශයක් කිරිමට කොන්දොස්තරවරයාට නොහැකි බවයි.

දුර ගමන් සේවාවක් වුවද අවිස්සාවේල්ල දක්වා ගමන් ගන්නා මගින්ව බස් රථයට නංවා ගන්නා ලෙස සියලූම කොන්දොස්තරවරුන්ට උපදෙස් දි ඇති බවත් මේ සමිබන්ධයෙන් වහාම සොයා බැලිමක් සිදුකරන බවත් රෝහණ ද සිල්වා මහතා වැඩි දුරටත් කියා සිටියේය.