හාලිඇල ප්‍රාදේශීය සභාවේ අයවැය සම්මතයි


(විජේරත්න රත්නායක)

2020 වසර සඳහා වූ හාලිඇල ප්‍රාදේශීය සභාවේ අයවැය අද (26) සවස වැඩි ඡන්ද 03 කින් සභා සම්මත විය.

හාලිඇල ප්‍රාදේශීය සභාවේ සභාපති ආර්.එම්.නිමල් සේනානායක මහතා විසින් අයවැය කෙටුම්පත සභාවට ඉදිරිපත් කළ අතර ඒ පිළිබඳව පැය පහක් පමණ පුරා පැවැති අයවැය විවාදයෙන් පසුව සිදුකෙරුණු විවෘත ඡන්ද විමසීමේදී අයවැයට පක්ෂව ඡන්ද 21 ක් හා විපක්ෂව ඡන්ද 18 ක්ද ලැබිණි.

එම සභාවේ සභාපතිවරයා ඇතුළු සභිකයින් 40 දෙනා අතරින් එක් මන්ත්‍රීවරියක් අද දින සභාවට පැමිණ නොසිටියාය.

මෙම ඡන්ද විමසීමේදී සභාපතිවරයා ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන සභිකයින් 11 දෙනෙක් සහ උප සභාපතිවරයා ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ සභිකයින් 10 දෙනෙකුද අයවැයට පක්ෂව ඡන්දය දුන්හ.

එම සභාවේ විපක්ෂ නායකවරයා ඇතුළු එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් 10 දෙනාද ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රීවරුන් දෙදෙනාද ස්වාධීන කණ්ඩායම් දෙකක් නියෝජනය කරන මන්ත්‍රීවරුන් තිදෙනාද එක්සත් ජාතික පක්ෂයේ කේ.එම්.ප්‍රේමදාස හා පී.බී.සුසන්ත සිල්වා යන මන්ත්‍රීවරුන් දෙදෙනා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අජි බහාර් තුවාන් මන්ත්‍රීවරයාද අයවැයට විරුද්ධව ඡන්දය භාවිතා කළහ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන එච්.එච්.ජයන්ති බුද්ධිකා මන්ත්‍රීවරිය සභාවට සහභාගීව නොසිටියාය.