ජුඩ් සමන්ත.
හලාවත නෂ්රියා මුස්ලිම් මහා විද්‍යාලයේ අභිනවයෙන් ඉදිකරන ලද විද්‍යාගාරය විවෘත කිරීම වයඹ ප්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය අද සිදු විය.
මෙම අවස්ථාවට වයඹ පළාත් සභාවේ හිටපු අධ්‍යාපන ඇමතිවරයෙකු වන සන්ධ්‍යා කුමාර රාජපක්ෂ මහතාද එක්ව සිටියේය. විවෘත කරන ලද විද්‍යාගරය ඉදිකිරීම සඳහා රුපියල් ලක්ෂ 98 ක මුදලක් වෙන් කර ඇත්තේද හිටපු පළාත් අධ්‍යාපන අමාත්‍ය සන්ධ්‍යා කුමාර රාජපක්ෂ මහතා විසිනි.
නව විද්‍යාගාරය තුළ තිබූ අන්වීක්ෂයක් ප්‍රධාන ඇමතිවරයා විසින් නිරීක්ෂණය කරන ලදි.
“බලන්න ඇමතිතුමා වයඹ පළාත් සභා ඡන්දය පැවැත්වෙන දිනය එහෙම පේනවද කියලා?” හිටපු පළාත් අධ්‍යාපන ඇමති සන්ධ්‍යා කුමාර රාජපක්ෂ මහතා විමසා සිටියේය. “ඉන්න මමත් බලන්නම්...” යැයි පැවසූ හිටපු පළාත් අධ්‍යාපන ඇමතිවරයාද අන්වීක්ෂය නිරීක්ෂණය කළේය. “ම්හ්...පේන තෙක් මානෙක නෑ...”සන්ධ්‍යා කුමාර රාජපක්ෂ මහතා කියද්දී පැමිණ සිටි සියලු දෙනා සිනහ නගන්නට වූහ.
වයඹ පළාත් සභාවේ නිල කාලය ලබන ඔක්තොම්බර් මස 10 වැනිදා අවසන් වීමට නියමිතව ඇත.