හලාවත නගර සභා සෞඛ්‍ය සේවකයෝ වැඩවරති


(ඔගස්ටින් ප‍්‍රනාන්දු)            

හලාවත නගර සභා සෞඛ්‍ය අංශයේ රියැදුරකුට පහරදීමක් සම්බන්ධයෙන් අදාළ සැකකරු අත් අඩංගුවට නොගැනීම නිසා එම අංශයේ සියදුම සේවක සේවිකාවෝ අද(15) පෙරවරුවේ සිට වැඩ වැරූහ.

හලාවත වැල්ල කසල අංගනයට කසල තොගයක් ගෙන යමින් සිටි ට‍්‍රැක්ටර් රියැදුරකුට ඉකුත් සෙනසුරා දා (13) දහවල් වැල්ල ප‍්‍රදේශයේ දී ධීවර සංගම් සභාපතිවරයකු බව කියන අයකු විසින් පහර දි ඇති බවට හලාවත පොලිසියට පැමිණිලි කර තිබු අතර පහර කෑ රියැදුරා ප‍්‍රතිකාර පිණිස රෝහලේ නතර වි සිටී.

විවිධ බලපෑම් කරමින් මෙම සිද්ධිය යටපත් කිරිමට ඇතැමුන් තැත් කරන නමුත් කිසිවකු සැකකරු අත් අඩංගුවට ගැනිමට උනන්දු නොවිම කණගාටුදායක බව එම සේවකයෝ පෙන්වා දෙති.

මේ සම්බන්ධයෙන් නගර සභා ලේකම් ඒ.ඒ. ජයසිරි මහතා කියා සිටියේ මෙම පහරදීම හෙළා දැකිමට සේවකයින් ආරම්භ කර ඇති වර්ජනය අසාධාරණ නොවන නමුත් තමන්ට ද බලපෑම් ඇති කරමින් මෙම සිද්ධිය යටපත් කිරිමට ඇතැමුන් තැත් කිරිම කණගාටුවට කරුණක් බවයි.

හලාවත මුලස්ථාන ප‍්‍රධාන පොලිස් පරීක්ෂක වසන්ත හේරත් මහතා කියා සිටියේ සැකකරු අතුරුදහන්ව ඇති නමුත් ඔහු කඩිනමින් අත් අඩංගුවට ගැනීමට පියවර ගෙන ඇති බවයි.