(සනත් ගමගේ)
හම්බන්තොට යෝජිත වන අලි කළමණාකරණ රක්ෂිත කැළයේ දඩයමේ නිරත වි සිටි දඩයක්කරුවන් 6 දෙනෙක් සහ ගිනි අවි 4, විශේෂ කාර්ය බලකා නිලධාරින් හා වනජිවී නිලධාරින් එක්ව කළ වැටලීමකින් පසු අද (17) අත්අඩංගුවට ගෙන තිබේ.
සූරියවැව කුඩාඉඳිවැව කබැල්ලගල ප්‍රදේශයේ රක්ෂිත කැළයේ දී මෙම දඩයක්කරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර මොවුන් සතුව තිබී බෙහෙත් කොටන තුවක්කු හතරක් ද, සතුන් ඇල්ලීමට යොදාගන්නා කම්බි මළ පුඩු 16 ක්ද, මරන ලද හාවෙක් සහ පිසින ලද මී මින්නකුගේ මස් ද , ගිනි අවියට යොදන ඊයම් බෝල රැසක්ද අත් අඩංගුවට ගෙන ඇත.
මෙම සැකකරුවන් කැළයට ඇතුළු වී වන සතුන් දඩයම් කරමින් දඩමස් විකිණීමේ ජවාරමේ යෙදෙන අය බවට මූලික පරීක්ෂණ වලින් හෙළි වී ඇතැයි වනජීවි නිලධාරීහු පවසති.
රක්ෂිත කැළයේ හේන් ගොවිතැන් මුවාවෙන් පැල් අටවාගෙන වන සතුන් දඩයම් කරමින් දඩමස් ඉහළ මිලගණන් වලට විකිණීම මොවුන්ගේ ජාවාරම වී ඇති බව වනජීවී නිලධාරීහු පවසති.
කැළයේ සිටින වල් අලින්ගෙන් මෙම දඩයක්කරුවන්ට බලපෑම් එල්ලවන හෙයින් වල් අලින්ට පවා වෙඩි තබා ඇති බවට වනජීවී නිලධාරීහු සැකකරති.
අත්අඩංගුවට ගත් සැකකරුවන් 6 දෙනා හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව ඇත.