හම්බන්තොට මල්ආර රක්ෂිතය වැනසූ 03 ක් අත්අඩංගුවට


(දිලීප් ජයසේකර)

හම්බන්තොට දිමුතුගම මල්ආර රක්ෂිතයේ කුඹුක් ඇතුළු වටිනා දැව කැපීමේ ජාවාරමක නිරත වූ සැකකරුවන් තිදෙනෙකු හම්බන්තොට පොලිසියේ දූෂණ මර්ධන අංශයේ නිලධාරීන් විසින් අද (11) අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ අවුරුදු 59, 41 හා 29 යන වයස්වල පසු වූ වැල්ලවාය,පදලංගල හා දිමුතුගම ප්‍රදේශවල පදිංචි සැකකරුවන් තිදෙනෙකි.

සැකකරුවන් තිදෙනා විසින් කලක් තිස්සේ හම්බන්තොට දිමුතුගම මල්ආර රක්ෂිතය දෙපස පිහිට කුඹුක්,පළු,බුරුත ඇතුළු වටිනා දැව හොර රහසේ කපා විවිධ පාර්ශ්ව වෙත අලෙවි කර ඇති බවයි මූලික පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත.

හම්බන්තොට පොලිසියේ දූෂණ මර්ධන අංශයේ නිලධාරීන්ට ලද ඔත්තුවකට අනුව සිදු කළ වැටලීමේදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.පොලිස් නිලධාරීන් වැටලිම සිදුකරන අවස්ථාව වන විටත් සැකකරුවන් ලී ඉරමින් සිට තිබේ.

සැකකරුවන් තිදෙනා සමඟ ගස් කැපීමට යොදාගත් චේන්සෝ මැෂිමක් ඇතුළු උපකරණ කිහිපයක් හා ඉරණ ලද ලී තොගයක්ද පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.