හම්බන්තොට දිස්ත්‍රික්කයේ පරිපාලන නිලධාරී හිඟයක්



 
(සනත් ගමගේ)
 
හම්බන්තොට දිස්ත්‍රික්කයේ පරිපාලන නිළධාරීන්ගේ හිඟයක් පැවැතීම හේතුවෙන් රාජ්‍ය පරිපාලන කටයුතු වලදී  මහජනතාවට මෙන්ම නිළධාරින් ද අපහසුතාවයට පත්වීමට සිදුව ඇති බව හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් එම්.කේ බන්දුල හරිස්චන්ද්‍ර මහතා කීය.


ප්‍රාදේශීය ලේකම් කාර්යාල කිහිපයක ප්‍රාදේශීය ලේකම් තනතුරු සහ සහකාර ප්‍රාදේශීය ලේකම් තනතුරුවලද, ගණකාධිකාරී තනතුරු වලද පුරප්පාඩු පැවැතීම හේතුවෙන් එම කාර්යාලවල සේවා කටයුතු කිරීමේ දී ගැටළු වලට මුහුණ පෑමට සිදුව ඇති බව දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කළේය.


අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ  ප්‍රාදේශීය ලේකම් තනතුර, තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහකාර ප්‍රාදේශීය ලේකම් තනතුර මෙන්ම තවත් කාර්යාල කිහිපයක ද ඉහළ නිලධාරී තනතුරු හිස්ව පවතී. 


හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ද ප්‍රධාන  ගණකාධිකාරී තනතුරට ස්ථාන මාරු ලබා දීමට දැනට කටයුතු කර ඇති බවත් එසේ සිදුවුවොත් එය බරපතල ගැටලුවක් බවද දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කළේය. මෙම පුරප්පාඩු සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයට හා රාජ්‍ය පරිපාලන ලේකම් තුමාට දන්වා යවා තිබෙන බවද හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර මහතා කීය.