හංවැල්ලේ වැලි තොටුපළකට පහර දුන් 6 ක් සොයා මෙහෙයුම්


(කේ බුද්ධික කුමාරසිරි) 


හංවැල්ල ජල්තර ප‍්‍රදේශයේ වැලි ව්‍යාපාරිකයකුට අයත් ඇඹුල්ගම ප‍්‍රදේශයේ පිහිටි වැලි තොටුපළකට අද (10) අලුයම යතුරුපැදි තුනකින් පැමිණි බව කියන කඩු සහ යකඩ පොලූ රැගත් මුහුණු ආවරණය කරගත් පුද්ගලයින් හයදෙනෙකු එහි තිබූ නිවසකට සහ යන්ත්‍රෝපකරණවලට පහර දී දැඩි අලාභ කර පලා ගොස් ඇතැයි හංවැල්ල පොලිසිය පවසයි.


අදාළ වැලි තොටුපළ හිමි ව්‍යාපාරිකයා විසින් ප‍්‍රදේශයේ පාතාලයට සම්බන්ධකම් තිබෙන පුද්ගලයකු ලබාදුන් නියෝගයක් මත කප්පම් මුදල් ලබා නොදීම නිසාවෙන් ව්‍යාපාරිකයා බිය කිරීම සඳහා මෙලෙස පහරදීම් සිදුවන බවට තොරතුරු ලැබී තිබේ.


පහරදීමට ලක් වූ වැලි තොටුපළෙහි සවිකර තිබූ ආරක්ෂිත කැමරා පද්ධතියේ රූපවාහිනී යන්ත‍්‍රයට ද පැමිණි පුද්ගලයින් පහර දී විනාශ කර තිබුණත් එහි මෙහෙයුම් පද්ධතිය ආරක්ෂා වී ඇති බැවින් එහි පටිගත වී ඇති දර්ශන ඔස්සේ සැකකරුවන් හඳුනා ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් තුනක් පරීක්ෂණ කටයුතු සඳහා යොදවා ඇති බව පොලිසිය පවසයි.