සුරියවැවදී පස් ප්‍රවාහණය කරන ටිපර් රථ කරුවන් විරෝධතාවයක


(දිලීප් ජයසේකර / රොෂාන් දිලිප් කුමාර)
 
පොලිස් විශේෂ කාර්ය බළකාය මැතිවරණයෙන් පසු දිගින් දිගටම දක්ෂිණ අධිවේගි මාර්ගයේ ඉදිකිරිම් සඳහා පස් ප්‍රවාහණය කරනු ලබන ටිපර් රථ ඉතා අසාධාරණ ලෙස අත්අඩංගුවට ගැනීම වහා නවතන ලෙස ඉල්ලා ටිපර් රථ රියදුරන් 200ක් පමණ  අද (14)  සුරියවැව බස්නැවතුම්පොල ඉදිරිපිටදී විරෝධතාවයක් නියැළිණි.

 
විරෝධතාවයට එක්ව සිටි පිරිස් පැවසුවේ දිගින් දිගටම පොලිස් විශේෂ කාර්ය බළකාය අධිවේගි මාර්ගයට පස් සපයන ටිපර් රථ රියදුරන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත් ,ඒ හේතුව නිසා සිය රැකියාව පවා දැඩි ලෙස අනතුරට ලක් වි ඇති බවත්ය.
 
ටිපර් රථ රියදුරෙකුට දිනකට ඉතා සුළු මුදලක් වැටුප ලෙස හිමිවන අතර විශේෂ කාර්ය බළකාය අසාධාරණ ලෙස  ටිපර් රථ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමේදි වරකට රුපියල් 20,000ක් හෝ  50,000ක  පමණ මුදලක් දඩ ලෙස ගෙවිමට සිදු වන බවත් ඔවුන් පවසයි.
 
එමෙන්ම ටිපර් රථ රියදුරන් පවසන්නේ නීත්‍යානුකූල ලෙස බල පත්‍ර ලබා ගැනීමෙන් පසුව පස් ප්‍රවාහනය කරනු ලැබුවත් පොලිස් විශේෂ කාර්ය බළකායෙන්  දැඩි ලෙස බාධා ඇති වෙන බවත් අද (14) ටිපර් රථ 07ක් අත්අඩංගුවට ගත් බවද ටිපර් රථ රියදුරන් පවසති.
 
ටිපර් රථ රියදුරන් පවසන්නේ තමන් රජයේ දැවැන්ත සංවර්ධණ කාර්යයක් සඳහා පස් ප්‍රවාහනය කරනවා මිසක් වෙනත් ජාවාරම් සඳහා පස් ප්‍රවාහනය නොකරන බවත්ය. ඒ නිසා ඉදිරියේදී මේ සදහා සාධාරණ විසදුමක් වගකිවයුතු පාර්ශව වලින් නොලැබෙන්නේ නම් හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියළුම පස් ප්‍රවාහනය කරනු ලබන ටිපර් රථ රියදුරන් එක්ව දැඩි තීරණයක් ගන්නා බවත් ඔවුන් වැඩි දුරටත් පැවසිය.