නිමල කොඩිතුවක්කු
අධ්‍යාපන අමාත්‍යාංශය මගින් හදුන්වා දුන් සුරක්ෂා සිසු රක්ෂණාවරණය මගින් රුපියල් මිලියන 27 කට අධික ප‍්‍රතිලාභ පාසල් සිසුන් මේ වනවිට හිමිකරගෙන තිබේ.
එමෙන්ම පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේ සිට පෙබරවාරි දක්වා රක්ෂණ ගෙවීම් සඳහා ඉල්ලීම් 6600ක් ශ‍්‍රි ලංකා රක්ෂණ සංස්ථාව වෙත ලැබී ඇති බවද අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
පාසල් සිසුන් ලක්ෂ 10ක් සඳහා සුරක්ෂා සිසු රක්ෂණාවරණයට අදාල රක්ෂණ කාඞ්පත් මේ වනවිට ලබා දි ඇති අතර මේ මාසය අවසන් වනවිට සිසුන් ලක්ෂ 20ක් දක්වා මෙම කාඞ්පත ලබාදිමට නියමිතය.
රජයේ පාසල් , පෞද්ගලික පාසල් පිරිවෙන් වල අධ්‍යාපනය ලබන සිසු සිසුවියන් ලක්ෂ 45කට ආසන්න පිරිසක් සඳහා මෙම සුරක්ෂා සිසු රක්ෂණාවරණයෙන් ප‍්‍රතිලාභ හිමිවේ.
ඒ අනුව සෑම පාසල් දරුවකු සඳහාම රුපියල් ලක්ෂ 02ක රක්ෂණ ප‍්‍රතිලාභ හිමිවන අතර ඔක්තෝම්බර් 01 වනදා සිට මෙම රක්ෂණාවරණය ආරම්භ විය.
මේ යටතේ පාසල් දරුවකුගේ බාහිර ප‍්‍රතිකාර සඳහා වාර්ෂිකව රුපියල් දස දහසක්ද, රෝහල් ගත වීමේදි රුපියල් ලක්ෂය දක්වාත්, මව පියා මියගිය විට රුපියල් හැත්තෑපන්දහසක මුදලකුත් හිමිවේ.
එමෙන්ම දරුවා පූර්න ආබාධිත තත්ත්වයට පත්වීමේදී රුපියල් ලක්ෂයක මුදලක් සහ අර්ධ ආබාධිත තත්ත්වයකදී රුපියල් පනස්දහසේ සිට රුපියල් ලක්ෂයක් දක්වා ප‍්‍රතිලාභ හිමිවේ.