සීගිරි සංචාරක කලාපයේ පාලමක් ගිලා බැස දෙමසක් ගතවෙයි


(කාංචන කුමාර ආරියදාස)
 
කණ්ඩලම සිගිරිය ප්‍රධාන මාර්ගය  කිබිස්ස ප්‍රදේශයේ පාලමක් පාරත් සමඟ ගිලා බැස මාස දෙකක පමණ කාලයක් ගත වී ඇතත් මෙතෙක් එහි ඉදිකිරීම් කටයුතු අවසන්  නොකිරීම හේතුවෙන් එහි ගමනාගමන කටයුතු අඩාල වී ජනතාව දැඩි අපහසුතාවයකට පත්වී ඇතැයි ප්‍රදේශවාසීහු චෝදනා කරති.


විශාල ජනතාවත් දිනපතා ගමන් කරන මෙම මාර්ගය මධ්‍යම පළාත් සභාව මගින් ඉදිකරන ලද්දක් බව ප්‍රදේශවාසීහු පවසති. කණ්ඩලම සීගිරිය අතර ප්‍රධාන සංචාරක හෝටල් රැසකට ගමන් කිරීමට ඇති කෙටිම මාර්ගය මෙය වේ.


මාර්ගය කැඩී යාම නිසා සීගිරිය නැරඹීම සඳහා හෝටල් වල සිට පැමිණෙන සංචාරකයන්ට නැවත   වෙනත් විකල්ප මාර්ග වලින් ගමන් කිරීමට සිදුවී ඇතැයි ඔවුහු පෙන්වා දෙති.


එමෙන්ම ප්‍රදේශයේ පාසල් ළමුන් සඳහා  දැඩි අසීරුතාවයකට පත්ව ඇත්තේ ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු වලට පාසල් යෑමට බස් රථයකට ගමන් කිරීමට නොහැකි වීමෙනි.


පාසල් ළමුන් කිලෝමීටර් දෙක තුන පාගමනින් යන අතර ඇතැම් පාසල් සිසුන් යතුරුපැදි හා පාපැදි පාවිච්චි කරමින් කඩා ගිය පාලමේ අඩියක පමණ ඉතුරුව ඇති ස්ථානයෙන් එගොඩ මෙගොඩ වනු ලබන්නේ  දැඩි අවදානම් ස්ථානයකින්  බව  ගම්වැසියෝ පවසති.


මාස දෙකක පමණ කාලය  මාර්ගය ගිලා බැස ගත වුවද එක කලු ගල් ලෝඩ් එකක් පමණක් එම ස්ථානයට ගෙනැවිත් දමා තිබෙන බවත් ප්‍රදේශවාසීහු පෙන්වා දෙන අතර සතියක් ඇතුළත මෙම මාර්ගය පිළිසකර කර නොදෙන්නේ නම් දඹුල්ල  සීගිරිය ප්‍රධාන මාර්ගය අවහිර කරමින් ප්‍රදේශවාසීන් දැඩි විරෝධතාවයක නිරත වන බව ද ඔවුහු පවසති.