(විජේරත්න රත්නායක )
බඩල්කුඹුර වරාදොල වත්ත ප්‍රදේශයේ ආරම්භ කිරීමට යෝජිත සායනික අපද්‍රව්‍ය පිළිස්සීමේ ව්‍යාපෘතිය වහාම නතර කරන ලෙස ඉල්ලා මහා සංඝරත්නය ඇතුළු ප්‍රදේශවාසීන් පිරිසක් අද (26) පස්සර වරාදොල ප්‍රදේශයේදී විරෝධතාවයක නිරත වූහ.
එම ස්ථානයට පැමිණි බඩල්කුඹුර ප්‍රාදේශීය සභාවේ සභාපති ආර්.එස්.එම්.අබේසේකර සමරසිංහ මහතා, ජනතා විරෝධය මත මෙම ව්‍යාපෘතිය නතර කරන බවට බඩල්කුඹුර ප්‍රාදේශීය ලේකම්වරයා සහ මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන්ද ඉදිරියේ ප්‍රකාශ කිරීමත් සමඟ එම විරෝධතාවය අවසන් කෙරිණි.
පෞද්ගලික ආයතනයක් විසින් වරාදොල වත්තේ ඉඩමක් මිලදීගෙන ඌව පළාතේ රෝහල්වල සායනික අපද්‍රව්‍ය එම ඉඩමට රැගෙන විත් එහිදී අධික තාපයක් යටතේ පුළුස්සා අළු වෙනත් ප්‍රදේශයකට රැගෙන යාමටත් බැහැර කෙරෙන වායුව පිරිසිදු කොට සෞඛ්‍යාරක්ෂිතව මුදා හැරීමටත් සැළසුම් කොට තිබූ බව සඳහන් වේ.
එහෙත් මේ වන විට පවතින අත්දැකීම් අනුව එවන් ව්‍යාපෘති කළක් ගතවන විට මූල්‍යමය ලාභ අරමුණු කොටගෙන ප්‍රමිතියෙන් බැහැරව ක්‍රියාත්මක වන බව පෙන්වාදුන් ගම්වාසීහු ඉදිරියේදී තමන්ට තර්ජනයක් විය හැකි මෙම ව්‍යාපෘතිය මෙහි ආරම්භ නොකරන ලෙස ඉල්ලා සිටියහ.
එහිදී මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන් ව්‍යාපෘතිය සම්බන්ධයෙන් කරුණු පැහැදිළි කරමින් මෙතෙක් මෙම ව්‍යාපෘතියට අනුමැතිය ලබාදී නොමැති බව පැවසූ අතර බඩල්කුඹුර ප්‍රාදේශීය ලේකම් එන්.ජී.එම්.එස්.කුමාර මහතා පැවසුවේ මෙමඟින් පාරිසරික හෝ වෙනත් හානියක් සිදුනොවන නමුත් ඒ සඳහා අනුමැතිය ලැබීමටත් එහි ඇතැම් ඉදිකිරීම් ආරම්භ කොට තිබීම නීති විරෝධී තත්වයක් බවයි.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් පවතින විරෝධතා ලිඛිතව ලබාදෙන ලෙසද ඒ මහතා දන්වා සිටියේය.
මෙම විරෝධතාවයට පැල්ගහතැන්න සුරම්මාරාමාධිපති පූජ්‍ය කණහෙල ධම්මික හිමියන් ඇතුළු මහා සංඝතරත්නය ප්‍රමුඛව වරාදොල දුම්මලතැන්න අඹතැන්න පිනැල්ල තැන්නුගේ ප්‍රදේශවාසීහු විශාල පිරිසක් එක්ව සිටියහ.