සහන මිලකට වතුකම්කරුවන්ට තිරිගුපිටි


 (රංජිත් රාජපක්ෂ)                      

රජය මගින් දිවයින පුරා වතු කම්කරු පවුල් එක් ලක්ෂ පහලොස් දහසක් අටසිය හැට හත් දෙනෙකුට විශේෂ සහනාදාර මිලකට තිරිගු පිටි කිලෝවක් රු 80 බැගින් මසකට තිරිගු පිටි කිලෝ 15 ක් ලබාදිමේ වැඩසටහන යටතේ බගවන්තලාව බොගවාන වතු යායේ වතු කම්කරු පවුල් වෙත තිරිගු පිටි ලබාදිම එම වතු යායේ පාලන අධිකාරිය අද  (21) දින සිදු කළහ.

මුදල් අමාත්‍යංශය , වතු නිවාස සහ ප්‍රජා සංවර්ධන අමාත්‍යංශය , වෙලද අමාත්‍යංශය , සමුපකාර සේවා සහ අලෙවිකරණ සංවර්ධන සහ පාරිභෝගික සේවා ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යංශය යන අමාත්‍යංශ එක්ව වතු කම්කරු පවුලකට රු 80 බැගින් සහනදායි මිලකට මසකට තිරිගු පිටි කිලෝ 15 ක් ලබාදිමේ වැඩපිලිවෙළ අරඹා ඇත.

මෙරට ප්‍රධාන තිරිගු පිටි සමාගමක් විසින් කිලෝ 15 ක් බැගින් ඇසුරුම් කරන ලද තිරිගු පිටි තොග තිරිගු පිටි සමාගම විසින්  මේ වන විට ප්‍රදේශයේ පිහිටි සමුපකාර සමිති හරහා වතු සමාගම්වලට අවශ්‍ය තිරිගු පිටි එම වතු යායටම ප්‍රවාහනය කර බෙදා හැර තිබේ.

තේ වතු සමාගම් විසින් වතු කම්කරුවන්ගේ වැටුපෙන් මාසිකව තිරිගු පිටි කිලෝවක් සදහා රු 80 බැගින් අය කර එම මුදල වතු යටිතල පහසුකම් අමාත්‍යංශය වෙත යොමු කිරිමෙන් පසු එම අමාත්‍යංශය සහ තිරිගු පිටි සමාගම් අතර  අත්සන් කර ඇති ගිවිසුමක් අනුව එම වතු යායට මාසිකව අවශ්‍ය තිරිගු පිටි ප්‍රමාණය තිරිගු පිටි සමාගම විසින් සමුපකාර සමිති හරහා බෙදා හරිනු ලබයි.