සද්ධන්තයන් දෙදෙනා හක්කපටස්වලට බිලි


(ක.ග.කරුණාරත්න)

හක්කපටස් කෑම නිසා බරපතල තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි වල් අලින් දෙදෙනකු අද(05)  මරුමුවට පත්වූ බව වනජීවී නිලධාරීහු කියති.

පොලොන්නරුව දිස්ත්‍රික්කයට අයත් දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටි ඉහල ඇල්ලේවැව සහ කන්දේගම යන ප්‍රදේශවලදී මෙම අකල් අලි මරණ සිදුව තිබේ.

දිඹුලාගල ඉහල ඇල්ලේවැව ප්‍රදේශයේදී මිය ගිය අලියා අඩි 08ක් පමණ උස අවුරුදු 25ක් වයස වන බවත් කන්දේගම ප්‍රදේශයේදී මියගිය අලියා අවුරුදු 10ක් 12ක් පමණ වයස අඩි 06ක් පමණ උස බවද විමර්ශන සිදුකරන වෙහෙරගල අලිපාලන ඒකකයේ නිලධාරීහු ප්‍රකාශ කළහ.

මියගිය වන අලින් දෙදෙනාම පිරිමි සතුන් බවද එම නිලධාරීහු සඳහන් කරති.

මාදුරුඔය ජාතික වනෝද්‍යානයේ වාසය කල මෙම අලින් දෙදෙනා ආහාර සොයා මහවැලි ගම්මානවලට පැමිණ සිටියදී කිසියම් පිරිසක් විසින් අටවන ලද මර උගුල්වල තිබී හක්කපටස් ආහාරයට ගෙන ඇතිබව වනජීවී නිලධාරීන් විසින් සිදුකල විමර්ශනවලදී අනාවරණයවී තිබේ.