(දඹුල්ල කාංචන කුමාර ආරියදාස)
දඹුල්ල දිගම්පතහ රක්ෂිතයේ කුඩා වේවැල් දළයා නමින් හඳුන්වන ඇත් පැටවාට කිසියම් පිරිසක් වෙඩි තැබීම නිසා එක් ඉදිරි පාදයකට තුවාල සිදුවී ඇතැයි සීගිරිය වනජීවී නිලධාරීහු පවසති.
පසුගිය දින කිහිපයේම මෙම වේවැල් දළයා සොයාගැනීමට නොහැකිව සිටි බවත් ඊයේ (20) දින පස්වරුවේ ප්‍රධාන මාර්ගය ආසන්නයේ ගැවසෙන බවට ලැබුණු තොරතුරක් මත සීගිරිය වනජීවී නිලධාරීහු පිරිසක් එම ස්ථානයට ගොස් එම ඇතාට වෙඩි වැදීමෙන් සිදුව ඇති හානිය පිළිබඳව නිරීක්ෂණය කළහ.
එහිදී එක් ඉදිරි පාදයකට වෙඩි වැදී සිරුර ඇතුළතින් පැසවා ඇති ආකාරය දැකගත හැකිවිය. ඒ සමගම වේවැල් දළයාගේ නොසන්සුන්කාරී හැසිරීම හේතුවෙන් පසුව අලි වෙඩිල්ලක් ආධාරයෙන් වනජීවී නිලධාරීහු ඇත් පැටවා නැවතත් හරවා යැවීමට ක්‍රියා කළහ.
දඹුල්ල නගරයෙන් ඉවත් කරන කුණු කසළ ආහාරයට ගැනීම සඳහා පැමිණි වේවැල් දළයා සහ තවත් වනඅලින් 6 දෙනෙකු මේ වනවිට වෙඩිප්‍රහාරවලට ලක්ව සිටින බවද සීගිරිය වනජීවී කාර්යාලයේ ප්‍රධානි වන සත්ව අඩවි ආරක්ෂක ඩබ්ලිව්. එම්. බණ්ඩාරනායක මහතා පැවසීය.
අලුත් අවුරුදු සමයේ වන අලින්ගේ ආහාරය සඳහා කැලෑවට ගෙනත් දමන එළවළු ප්‍රමාණය අවම වීම නිසාවෙන් ආහාර සොයා වන අලින් ගම් වැදීම නිසා මෙවැනි අනතුරුවලට ලක් වනවාද යන්න සැකයක් පවතින බව බණ්ඩාරනායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.