වෙන්නප්පුව සමූපකාරයේ ලක්ෂ 42ක වංචාවක්


(චන්දන ප‍්‍රනාන්දු)

වෙන්නප්පුව සමූපකාර සමිතියේ සිදුව ඇතැයි කියන රුපියල් ලක්ෂ 42 ක මුල්‍ය වංචාවක් සම්බන්ධයෙන් එහි හිටපු සාමාන්‍යාධිකාරිවරියට එරෙහිව ලැබුණු පැමිණිල්ලක් මත විමර්ශනයක් ආරම්භ කර ඇති බව හලාවත කොට්ඨාස පොලිස් විශේෂ විමර්ශන අංශය පවසයි.        

2014 සිට 2017 දක්වා කාලය තුළ අදාළ තනතුරේ බලය අයුතු ලෙස භාවිතා කරමින් මෙම මුල්‍ය වංචාව සිදුකර ඇති බවට සමූපකාර අධ්‍යක්ෂක මණ්ඩලයේ හා වයඹ පළාත් සමූපකාර දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ කළ මූලික පරික්ෂණයකින් හෙළිවී තිබේ.

එම මුල්‍ය වංචාවට හිටපු සාමාන්‍යාධිකාරිවරිය වගකිවයුතු බවට තහවුරු වීම නිසා එම වාර්තාව පදනම් කරගෙන මෙම පැමිණිල්ල කර ඇති බව පොලිසිය කීය.

සමූපකාර සමිතියේ  මුදල් පෞද්ගලික මුල්‍ය ආයතනවල තැන්පත් කිරීම වෙනුවෙන් ලැබු මුදල් නියමිත ආකාරයෙන් බැංකුගත නොකර එම මුදල් හිටපු සාමාන්‍යාධිකාරිවරියගේ පෞද්ගලික පරිහරණය සඳහා යොදාගෙන ඇතැයි හෙළි වී තිබෙන බව හලාවත කොට්ඨාස විශේෂ විමර්ශන ඒකකය පැවසීය.

මුල්‍ය වංචාව සම්බන්ධයෙන් හිටපු සමාන්‍යාධිකාරිවරියගේ වැඩ තහනම් කර ඇති බවත් ඉදිරියේදි පොලිස් පරික්ෂණ මත ඇයට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක වෙනු ඇති බවත් වෙන්නප්පුව සමූපකාර වැඩබලන සමාන්‍යාධිකාරි යු එල් ශ‍්‍රියාලතා මහත්මිය පැවසුවාය.