විල්ගමුවේ වී ගොවියාට වී සඳහා මිලක් නැතැයි මැසිවිලි


(දඹුල්ල කාංචන කුමාර ආරියදාස)
මාතලේ දිස්ත්‍රික්කයේ ලග්ගල සහ විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල මේ දිනවල වී අස්වනු නෙළීම ආරම්භ කොට ඇතත් වී සඳහා සාධාරණ මිලක් නොමැති වීම නිසා
 තමන් දැඩි අසීරුතාවයකට පත්ව  සිටින බව ගොවීහු පවසති.


විල්ගමුව ප්‍රදේශයේ ගොවීන් කියා සිටින්නේ මේ වන විට අතරමැදි වෙළෙන්දන් විසින් නාඩු වී කිලෝවක් රුපියල් 27සිට   රුපියල් 28 දක්වා වූ මිලකට ලබා ගන්නා බවය. මාස කිහිපයක් තිස්සේ ඉතා දුක් මහන්සියෙන් තම අස්වැන්න ලබා ගත්තද ඒවා මිලදී ගැනීමේ කිසිදු වැඩපිළිවෙලක් ක්‍රියාත්මක නොකිරීම නිසා ඔවුන් දැඩි අසීරුතාවයකට පත්ව මෙවර සිංහල අලුත්  අවුරුද්ද සිහිනයක් බවට පත්ව තිබෙන බවය.


යාන්ත්‍ර  සූත්‍ර වලින් එක වැරම අස්වනු නෙළීම සිදු කරන නිසා ගොවීන්ගේ වී ටික වේලා ගැනීමට ක්‍රමවේදයක් නොමැති වීමද තවත් මිල පහත වැටීම නතුවී ඇතැයි ගොවීහු පවසති. නව යන්ත්‍ර සූත්‍ර වලින් වී අස්වනු නෙලීමේදී වී මිලදී ගන්නා ගොවීන් ඉතා සූක්ෂම ලෙස වී වියළී නැති බව පවසමින් මිල අඩු කිරීම සිදුකරන බවත් ගොවීන් පෙන්වා දෙති.


මේ හේතුව නිසා ගොවීන්ට සිදුව ඇත්තේ නෙලාගන්නා වී අස්වැන්න මහ පාරේ හෝ පාලම්  උඩ දමා දින ගණනාවක් අව්වේ වියළා ගැනීමටය. එහිදී විශාල වශයෙන් තම අස්වැන්න  විනාශ වෙමින් පවතින බව ද ඔවුහු පෙන්වා දෙති.


විල්ගමුව ප්‍රදේශයේ වී අස්වනු නෙලන ගොවීන් හමුවීමට ගිය අපට ඔවුහු දේශපාලකයන්ට දැඩි ලෙස විරෝධය දක්වමින් කතා කරන්නට වීම විශේෂත්වයකි. පාර්ලිමේන්තුවේ සිටින දේශපාලනඥයින් තමන්ගේ බලය ආරක්ෂා කර ගැනීමට  වීවිධ උපක්‍රම භාවිත කරමින් සිටින බවත් මෙතෙක් ගොවියා ආරක්ෂා කිරීම සඳහා කිසිදු පියවරක් නොගැනීම නිසා අද දුෂ්කර පළාත්වල සිටින ගොවීන් වන අලින්ගෙන් පරිසරයෙන් ජලයෙන් පමණක් නොව නෙලාගන්නා අස්වැන්නෙන් ද බැට කන බව ඔවුහු චෝදනා කරන්නට වූහ.