(දිලීප් ජයසේකර සහ කේ. පී. සුමනදාස)
සෙවනගල කිරිඉබ්බන්ආර, දිවුලාන, හබරුගල, රන්වැලිගම, කිරිවැව ඇතුළු ප්‍රදේශ රැසකට ඊයේ (29) සවස ඇදහැලුණු වර්ෂාවත් සමඟ හමාගිය දැඩි සුළඟ හේතුවෙන් නිවාස 15කට දැඩි හානි සිදුව ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.
නිවාසවලට අමතරව ඔවුන් වගා කර තිබූ කෙසෙල් වගාවේ අක්කර 500ක පමණ ප්‍රදේශයක්ට හානි සිදුව තිබිණි.
වර්ෂාවත් සමග හමා ආ සුළග හේතුවෙන් විශාල ගස් කඩා වැටීම නිවාස දෙකකට පූර්ණ හානි සිදුව ඇති අතර තවත් නිවාස 15කට පමණ අර්ධ හානි සිදුව තිබේ.
විශාල ප්‍රමාණයේ කොහොඹ, තේක්ක හා පොල් ගස් කඩා වැටීම හේතුවෙන් ප්‍රදේශයේ මාර්ගද සම්පූර්ණයෙන් වැසී ගොස් තිබුණි. මේ හේතුවෙන් තමන්ට ආරක්ෂිත ස්ථාන වෙත ගමන් කිරීමට සිදු වූ බව ප්‍රදේශවාසීහු පැවසූහ.
එස්. පී. එච්. අයිරාංගනී මහත්මිය මෙසේ පැවසුවාය.
“මමයි දුවයි විතරයි ගෙදර හිටියේ. එක සැරේටම මහා වැස්සත් එක්ක සුළඟක් ආවා. ගේ ඉස්සරහා තිබුණු තේක්ක ගහ බිමට ඇදගෙන වැටුණා. මම දරුවත් අරගෙන වැස්සෙම ගෙයින් එළියට පැන්නා. මගේ ගෙයි වහල උඩට එක ගහක් කඩාගෙන වැටුණා. සුළං ඉවර වුණාම අල්ලපු ගෙදරට ගියා. යනකොට එහෙටත් ගස් කඩාගෙන වැටිලා. කුලී වැඩ කරලා හදා ගත්ත ගේ විනාඩි ගණනක් ඇතුළත විනාශ වෙලා ගියා” යැයි ඇය සඳහන් කළාය.
“එක සැරේටම වැස්සත් එක්ක සුළගත් ආවා. මට ලොකු බයක් ඇති වුණා. මම දරුවගේ ගෙදරටවත් යන්න කියලා එළියට ඉහින්න හදනකොටම දොරකඩ ළඟට මහ අත්තක් කඩාගෙන වැටුණා. පිටිපැත්තේ දොරෙන් එළියට බහිද්දි කොහොඹ ගහ ගේ උඩට කඩාගෙන වැටුණා. මට මතක එච්චරයි. මට සිහිය එනකොට මගේ දරුවා ඇවිත් මාව අස්සගෙන අරගෙන ගිහිල්ලා. මගේ ගේ සම්පුර්ණයෙන්ම යට වෙලා විනාස වුණා” යැයි එල්. ඒ. දයාවතී මහත්මිය පැවසුවාය.