හිරාන් ප්‍රියංකර ජයසිංහ
මාසයකට ආසන්න කාලයක් තිස්සේ මහ වැසි වලින් ගලා ආ ජල කඳ කල්පිටිය කරඹ ගම්මානයේ රැඳී තිබීම නිසා ගම්වාසීහු අපහසුතාවට පත්ව සිටිති.
මෙම ගම්මානයේ නිවාස 20කට ආසන්න ප්‍රමාණයක සිටින ජනතාව මෙයින් පීඩාවට පත්ව ඇති බවත් ජලය බැස යාමට තිබෙන ඇළ මාර්ග පිරිසක් අවහිර කරමින් ඇති බවත් ඔවුහු පවසති.
මාසයකට ආසන්න කාලයක් තිස්සේ වැසි ජලය එකතු වී ඇතත් කිසිම රාජ්‍ය නිලධාරියකු මෙය සොයාබැලීමට ඉදිරිපත් නොවූ බවත් ඔවුහු පවසති.
මාර්ග ඇතැම් ස්ථානවල අඩියක් දෙකක් පමණ ජලයෙන් යටවී ඇති හෙයින් තම නිවෙස් වෙත ගමන් කිරීමට පවා නොහැකි තත්ත්වයක් මතුවීමත්, මැසි මදුරු උවදුරට ලක්වීමත්, වැසිකිලි උතුරා යාමත් වැනි සෞඛ්‍ය සම්බන්ධ කරුණු වලට මුහුණ දීමට ඇතැයි ද පෙන්වා දෙති.
මේ පිළිබඳව ඒ. එම් . අනුෂා චාමලී මහත්මිය මෙසේ කීවාය.
“වැසි කාලයට එකතු වන ජලය ගලායාමට තිබුණ ඇළ මාර්ග වසා දමා ඒ උඩින් ගොඩනැගිලි ඉදි කරලා. මේ ගැන ග්‍රාම නිලධාරි මහත්තයාට වාර ගණනාවක් දැනුම්දුන්නත් ඔහු ඒ ගැන සොයා බැලුවේ නැහැ. මාසයක ඉදලා මේ වතුර ගම්මානයේ රැඳිලා තිබෙනවා.”
මේ පිළිබඳ විමසීමේදී පුත්තලම අතිරේක දිස්ත්‍රික් ලේකම් එච්. එම්. එස්. පී. හේරත් මහතා පැවසුයේ පැවසුයේ තමා ඒ සම්බන්ධව කිසිවක් දැන නොසිටි බවත් කඩිනමින් ඒ පිළිබඳව සොයා බලන බවත්ය.