(නිශාන්ත කුමාර)
වියලුව ආසනය තුළ පිහිටි ප්‍රධානතම වාරිමාර්ග යෝජනා ක්‍රමයක් වන කෝමාරීක ඇළ මාර්ගය සංවර්ධනය කිරීමේ වැඩසටහනට සමගාමීව රුපියල් කෝටි ගනනක වියදමක් දරා මීගහකිවුල කරමැටිය ප්‍රදේශයේ ඉදිකල වැව්පිටිය හා බෝගහකුඹුර ජලාශ දෙකම සිදී යාමෙන් කුඹුරු අක්කර සියයකට ආසන්න ප්‍රමාණයක් වසර 2ක කාලයක් තිස්සේ පුරන් වෙමින් පවතින බව ප්‍රදේශයේ ගොවිහු පවසති.
කෝමාරීක ඇල මාර්ගය යටතේ වගා කරනු ලබන කුඹුරු වලට ජලය සැපයීමෙන් පසුව අතිරික්ත ජලය ගබඩා කොට තවත් ඉඩම් ප්‍රමාණයක් වගා කිරීම අරමුණු කර ගනිමින් මෙම ජලාශ දෙක ඉදිකරනු ලැබූවද මේ වන විට පවත්නා ජල හිගය හේතුවෙන් එය නිෂ්ඵල වෑයමක් බවට පත්ව ඇතැයි කරමැටිය දිලෙනතරු ගොවි සංවිධානයේ සභාපති ඩී එම් පුංචි බණ්ඩා මහතා පැවැසිය .
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ කෝමාරීක ව්‍යාපාරයේ නේවාසික කළමණාකාර හා ඉංජිනේරු සහකාර මාධව ඉන්දික රත්නායක මහතා මෙසේ කීවේය.
‘‘මෙම වැව් දෙක හැදුවේ තවත් ඉඩම් ප්‍රමානයකට ජලය දීමේ අරමුණ ඇතිව තමයි. වර්ෂාව හරියට ලැබුණා නම් මෙම තත්වය ඇති වන්නේ නැහැ. මුල් කාල වලදී අපි මේ වැව් පුරවල ගොවිතැන්වලට ජලය දුන්නා. නමුත් මේ වසරේ වගේම පහුගිය වසරේ අපේක්ෂිත පරිදි වැසි ලැබුණේ නැහැ. ඒ තත්වය මත තමයි අපිට මේ වැව් දෙක පුරව ගන්න අමාරු වුණේ. අපේක්ෂිත පරිදි ඉදිරියේදී හෝ වර්ෂාව ලැබුණොත් අපිට මේ වැව් දෙක පුරවගන්න පුළුවන් වේවි.‘‘