වැලිපැන්නේ සිසුන් 22 ක් රෝහලේ


 
(බන්දු තඹවිට)

මතුගම වැලිපැන්න කටුවාලගොඩ කනිෂ්ඨ විදුහලේ සිසුන් 22 දෙදෙනෙක් ආසාත්මික තත්ත්වයක් නිසා වෑත්තැව රෝහලට ඇතුලත් කර ඇත.

වැලිපැන්න කටුවාලගොඩ කනිෂ්ඨ විදුහලේ 6 සහ 7 ශ්‍රේණි වල ඉගෙනුම ලබන ගැහැණු ළමුන් 12 දෙනෙකු සහ පිරිමි ළමුන් 10 දෙනෙකු ඇඟ කසා පලු දැමීම හේතුවෙන් මෙසේ රෝහල් ගත කර තිබේ.

මේ පිළිබඳව එම විදුහලේ විදුහල්පති එම්.එම්.මිත්‍රපාල මහතා මෙසේ පැවසීය.

මේ දිනවල අප විදුහලේ නිවාසාන්තර ක්‍රීඩා උත්සවයේ පුහුණුවීම් කටයුතු කරගෙන යමින් සිටිනවා.එම උත්සවයේ ආචාර පෙළපාලිය සඳහා සිසුන් පුහුණු කිරීම යුද හමුදාවේ නිලධාරීන් දෙදෙනෙකු විසින් සිදුකරනු ලබනවා.

ඊයේ(15) උදැසන සිට එම ආචාර පෙලපාලියේ පුහුණු වීම සිදුකරමින් සිටින අතරතුර ළමුන් කිහිප දෙනෙක් තමන්ගේ ඇඟ කසන බව පැවසුවා.ටික වෙලාවකින් තවත් සිසුන් පිරිසක් ඇඟ කසන බව පැවසුවා.ඔවුන්ගේ ශරීරයේ කසන ස්ථාන වල පලු දමා තිබුණා.
පසුව අප ගිලන් රථ ගෙන්වා සිසුන්ව වෑත්තෑව රෝහලට පිටත් කළා.

සිසුන් ආචාර පෙළපාලියට පුහුණු වූ අවට කිසිම අපිරිසිදු තත්වයක් නැහැ.ඒ අවට ගස් කොළන් ඇත්තෙත් නැහැ.අප පාසලේ සිසුන් 138 ක් ඉගෙනුම ලබනවා.ඔවුන්ගෙන් සිසු සිසුවියන් 22 දෙදෙනෙකුට පමණයි මේ ආසාත්මික තත්ත්වයට මුහුණ දීමට සිදුවුනේ.මා මේ පිළිබඳව මතුගම කලාප කාර්යාලයටත් මතුගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයටත් දැනුම්වත් කළා.

මෙම සිසුන්ගේ රෝගී තත්ත්වය බරපතල නොවන බවත් ඔවුන්ට අවශ්‍ය ප්‍රතිකාර ඉක්මනින් ලබාදුන් බවත් වෑත්තෑව රෝහලේ ප්‍රකාශකයෙකු පැවසීය.