(තිලකරත්න දිසානායක)
බී ලූනු ආනයන බද්ද වැඩි කිරීමට පෙර මෙරටට රැගෙන එන ලද බී ලූනු වැඩි මිලට අලෙවි කරනු ලබන වෙළඳුන් නීතියේ රැහැනට හසුකර ගැනීමට පාරිභෝගික කටයුතු අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් විමර්ශන ඒකකය වැටලීම් ආරම්භ කර තිබේ.
මේ අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකම සෝදිසි කිරීම් සිදුකර ඇති අතර අද (4) ගම්පහ නගරය ආශ්‍රීතව වැටලීම් සිදු කෙරිණි.
මේ දිනවල වැලිසර , වේයන්ගොඩ ඇතුළු ප්‍රදේශ කිහිපයක වැටලීම් සිදු කර ඇති අතර අද (4) ගම්පහ නගරය ආශ්‍රිතව සිදු කළ වැටලීමේදී වෙළඳුන් 10 දෙනෙකු නීතියේ රැහැනට හසුව තිබිණි.
මෙම කාලයේ දී මෙරට වගාකරුවන් විසින් වගා කර ඇති බී ලූනු අස්වනු නෙලීම සිදු කෙරෙන බැවින් වගාකරුවන්ට පාඩුවක් නොවීමට බී ලූනු ආනයන බද්ද වැඩි කිරීමට රජය පියවර ගෙන තිබේ.
බදු වැඩි කිරීමට පෙර ගෙන එන ලද ලූණු තොගවලට නව බද්ද එක් කර පාරිභෝගිකයින්ට අලෙවි කරනු ලබන්නේද යන්න සොයා බැලීමට මෙලෙස වැටලීම් සිදුකරන බව පාරිභෝගික කටයුතු අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් විමර්ශන ප්‍රධානී ප්‍රදීප් කළුතරආරච්චි මහතා පැවසීය.
පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක සහ ගම්පහ දිසාපති සුනිල් ජයලත් යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි මෙලෙස වැටලීම් සිදු කෙරෙන අතර අද දිනයේදී සිදු කළ වැටලීමට ගම්පහ දිස්ත්‍රික් විමර්ශන අංශ ප්‍රධානී ප්‍රදීප් කළුතරආරච්චි මහතාගේ මෙහෙයවීම යටතේ විමර්ශන නිලධාරීන් වන හෂාන් කළුබෝවිල, අරුණ ශාන්ත සහ මාලිංග ගුණසේකර යන මහත්වරුන් එක්ව සිටියහ.