වාහන කණ්නාඩි හොරු දෙදෙනෙක් කොටුවෙති


(එච්.එච්.ධර්මපාල)
 
ගල්කිස්ස , මොරටුව , දෙහිවල , බොරලැස්ගමුව , මිරිහාන,කොහුවල, මහරගම සහ නුගේගොඩ යන ප්‍රදේශවල නිවාස වල හා මාර්ගයේ නවතා ඇති වාහන වල පැති කණ්නාඩි රාත්‍රී කාලයේ ගලවනු ලැබූ පුද්ගලයින් දෙදෙනකු සහ ඒ සඳහා යොදා ගත් යතුරු පැදියක් අද (17) අත් අඩංගුවට ගත් බව මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය කියයි.
 
සැකකරුවන් බොරලැස්ගමුව සහ කිරිවත්තුඩුව යන ප්‍රදේශවල පදිංචි පුද්ගලයින් දෙදෙනෙකු බව එම ඒකකය පැවැසීය.
 
අත්අඩංගුවට ගත් තරුණයින් දෙදෙනා හෙරොයින් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී ඇති බවද අනාවරණය වී තිබේ.
 
සිදුකළ ප්‍රශ්න කිරීම් වලදී අනාවරණය වී ඇත්තේ  වාහන වල පැති කණ්නාඩි රුපියල් 500ත් - 1500ත් අතර මුදලකට අළෙවි කර ඇතැ බවයි.
 
දැනට වාහන 67කට අදාලව පැමිණිලි ලැබී ඇති අතර රථ වාහන 50කට ආසන්න ප්‍රමාණයක රුපියල් ලක්ෂ 25 ක් පමණ වටිනා පැති කණ්නාඩි සොයා ගත් බව මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය කියයි.