වහලෙන් රිංගා වෙළඳසැල්වලින් බඩු සොරා ගත් අයෙක් රිමාන්ඩ්



 
 
හිරාන් ප්‍රියංකර ජයසිංහ
 
ආණමඩුව ඇතුළු ප්‍රදේශ ගණනාවක වෙළඳසැල් වලට වහලයෙන් රිංගා භාණ්ඩ සොරකම් කළ පුද්ගලයකු නොවැම්බර් 8 වැනිදා දක්වා බන්ධනාගාර ගත කිරීමට ආණමඩුව මහෙස්ත්‍රාත් ජනනි එස්. විජේතුංග මහත්මිය අද (30) නියෝග කළාය. 


මෙසේ බන්ධනාගාර ගත කළේ ආණමඩුව, පුත්තලම ඇතුළු ස්ථාන ගණනාවක වෙළසැල්වල මුදල් සහ විවිධ භාණ්ඩ සොරකම් කිරීමෙහි නිරත වූ  57 හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය පවසයි.


ආණමඩුව පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් අදාළ සැකකරුව පසුගිය 28 දින අත්අඩංගුවට ගෙන තිබුණි. 


අපරාධ ගණනාවක් සම්බන්ධයෙන් වසර 13 ක් සිරදඬුවම් ලැබ සිටි සැකකරු ආණමඩුව පොලිසිය  විසින් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සිර දඬුවමින් නිදහස් වී මාසයක් පමණ ගතවී තිබූ බවත් පසුව මුන්දලම ප්‍රදේශයේ ඥාතියකුගේ නිවසේ රැඳී මෙම සොරකම් සිදු කර ඇති බවත් පොලිසිය පවසයි.