වව්නියාවේ මුස්ලිම් ව්‍යාපාරිකයා ඝාතනය කළ සැකකරුවකු අත්අඩංගුවට


(රොමේෂ් මධුෂංඛ)
                  
වවුනියාව සාලම්භකුලම් ප්‍රදේශයේදී මුස්ලිම් ව්‍යාපාරිකයකු තියුණු ආයුධයකින් කපා ඝාතනය කර පලා ගිය සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයෙකු අත්අඩංගුවට ගත් බවට වව්නියාව පොලිස් නොවිසුඳුණු අපරාධ විමර්ශන ඒකකය කියා සිටියි.

පසුගිය 3 වැනි දා වව්නියාව සාලම්භ කුලම් ප්‍රදේශයේදී නිවසක් තුළ 43 හැවිරිදි මොහොමඩ් සයිනුධීන් ඉමිතියාප් අමාම් නැමති මුස්ලිම් ව්‍යාපාරිකයා ඝාතනය කර ඝාතකයන් පලා ගොස් තිබිණි.

ඝාතනයට ලක් වූ මුස්ලිම් ව්‍යාපාරිකයා රෙදිපිලි ව්‍යාපාරයක නිරත වන අතර ඔහු ඝාතනය කර සැකකරුවන් දෙදෙනෙකු යතුරුපැදියකින් පලා ගොස් තිබූ අතර අදාළ ඝාතනයට සමබන්ධ මුස්ලිම් සහ සිංහල සැකකරුවන් දෙදෙනෙකු පොලීසිය විසින් අනාවරණය කර ගෙන තිබුණි.

මේ අනුව අදාළ ඝාතනයට සමබන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා නොවිසුඳුණු අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් පුළුල් පරික්ෂණයක් ආරම්භ කළ අතර එහිදී සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයකු පාදුක්ක ප්‍රදේශයේ හෝටල් කළමනාකරුවකු වශයෙන් සේවය කරමින් සිටියදී අත්අඩංගුවට ගනු ලැබ ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුගෙන් සිදු කරන ලද පරික්ෂණ වලදී  ඝාතනය සිදු කර පලා ගිය යතුරුපැදිය සාලියවැව ප්‍රදේශයේ තිබී පොලීසිය විසින් සොයාගෙන ඇති අතර ඝාතනයට සමබන්ධ අනෙක් මුස්ලිම් සැකකරු සැඟව සිටින අතර ඔහු ද අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ කටයුතු සිදු කරමින් සිටියි.