(ගල්කිරියාගම කුෂාන් ජයවර්ධන)
කැකිරාව කොරසගල්ල ගම්මානයට කොටුවී සිටි වල් අලි රංචුවක් නිසා එහි ජනතාව අද (03) නොසන්සුන්තාවයක් හට ගෙන තිබින.
කලාවැව ජාතික උද්‍යානයේ සිට එහි ආරක්ෂිත විදුලි වැට බිඳ දමමින් අද ගම්වැදීමෙන් පසුව එම අලි රංචුව මෙලෙස කොරසගල්ල ගම්මානයට කොටුවී ඇති බව ගනේවල්පොල වනජීවී කාර්යාලයේ නිලධාරීයකු පැවැසීය.
අද 03 දහවල් එහි පැමිණි ගනේවල්පොල වනජීවී කාර්යාලයේ නිලධාරීහු එම වල් අලි රංචුව පලවා හැරීමේ මෙහෙයුම ආරම්භ කළහ.
ගම්වැදී සිටි අට දෙනෙකුගෙන් යුතු වල් අලි රංචුව රංචුව ගම්මානයේ ගෙමිදුල් ගෙවතු හා වගාබිම් ආශ්‍රිතව කලහකාරී ලෙස හැසිරීමට පටන් ගන්නට විය. මෙහෙයුම ආරම්භයේදීම එය නිමවන තෙක් කාන්තාවන් දරුවන් වයෝවෘද්ධ හා ආබාධිත පිරිස් ආරක්ෂිතව නිවෙස් තුළ රැඳවීමට පොලිසිය හා වනජීවී නිලධාරීහු පියවර ගත්හ. පසුව අලි පැන්නීමේ මෙහෙයුම ආරම්භ වූ අතර පැය කිහිපයක් පුරා පැවැති එම මෙහෙයුම සඳහා කැකිරාව පොලිස් ස්ථානයේ නිලධාරීන්ගේ මෙන්ම ප්‍රදේශවාසීන්ගේද සහය ලැබිණි. වනජීවි නිලධාරීන්ගේ සුපරික්ෂාකාරී මෙහෙයුම හේතුවෙන් ගම්මානයේ කිසිවෙකුටත් ජීවිත හෝ වෙනත් අනතුරක් සිදු නොවිණ. එහෙත් ගෙවතු වගාවන් රැසකට හානි සිදුකර තිබිණ.
මගී ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් එම මෙහෙයුම අතරතුරදී පැය කිහිපයක් ඒ9 මාර්ගයේ රථවාහන ගමනාගමනය ද වරින්වර අත්හිටුවීමට පොලිස් රථවාහන අංශය කටයුතු කර තිබිණ.
ගම්මානයට කොටුවී සිටි වල් අලි රංචුව කොරසගල්ල ප්‍රදේශයේ ඇති මස්තාන් බෝක්කුව අසළින් ඒ 9 ප්‍රධාන මාර්ගය හරහා කලාවැව ජාතික උද්‍යානයට පන්නා දැමීමට වනජීවී නිලධාරීහු කටයුතු කළහ. මින් මද වේලාවකට පෙර එම මෙහෙයුම නිමා කෙරිණ.
මේ වන විට කොරසගල්ල ගම්මානයේ ජන ජීවිතය යථා තත්ත්වයට පත්ව ඇති අතර ඒ9 මාර්ගයේ රථවාහන ධාවනයද සාමාන්‍ය පරිදි සිදුවේ.