වරිපනම් බදු නොගෙවු කඩ 25 කට මුද්‍රා තියයි


එෆ්.අස්ලම්
 

වසර කිහිපයක සිට වරිපනම් සහ ආදායම් බදු ගෙවීම් පැහැර හැර බදුල්ල මහ නගර සභා සීමාවේ වෙළදසැල් 25 ක් දේපළ තහනමට ලක්කරමින් මුද්‍රා තබා ඇතැයි බදුල්ල මහ නගර සභාවේ ආදායම් අංශය සඳහන් කර සිටීයි.
 
නගර සභා ආඥා පනත යටතේ හිමි බලතල ප්‍රකාරව වරක්,වසර දෙකක්,වසර පහක් වැනි දීර්ඝ කාලයක් තුළ වාර්ශිකව ගෙවිය යුතු බදු මුදල් නොගෙවීම මත මොණරාගල ප්‍රාදේශීය සභාවේ ආදායම් පරීක්ෂක ආර්.එම්.එන්.ආරියරත්න මහතා ප්‍රමුඛ නිලධාරීන් මෙම වෙළඳසැල් වලට මුද්‍රා තබා තිබිණි.
 
බදුල්ල මහ නගර සභාවට ආදායම් වශයෙන් අයවිය යුතු රුපියල් කෝටි අටකට අධික බදු මුදල් එක්රැස් කිරීම සඳහා බදුල්ල මහ නගර සභාවේ නගරාධිපති ප්‍රියන්ත අමරසිරි,නාගරික කොමසාරිස් අනුරාධා හේරත් මහත්මියගේ උපදෙස් මත ඌව පළාතේ පළාත් පාලන ආයතන කිහිපයකම ආදායම් පරීක්ෂකවරුන්ගේ මෙහෙයවීම මත විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබිණි.
 
පසුගිය 7 වැනි දා ආරම්භ කළ මෙම මෙහෙයුම ලබන 16 වැනි දා තෙක් ක්‍රියාත්මක කර ඇති අතර මේ වනවිට නගර සභාවට බදු ගෙවීම් පැහැර හරින ලද ස්ථානවලින් සහ පුද්ගලයින්ගෙන් රුපියල් ලක්ෂ පනහකට අධික මුදලක් අයවී තිබේ.
 
ඉදිරි දින කිහිපය තුළද මේ මෙහෙයුම ක්‍රියාත්මක කෙරෙන අතර බදු මුදල් ආදායම් ගෙවා නැති පිරිස් හට කඩිනමින් එම මුදල් ගෙවන ලෙසට මහ නගර සභාවේ ආදායම් අංශය දැනුම් දී සිටිති.
 
මෙම මෙහෙයුම සදහා මොණරාගල ප්‍රාදේශීය සභාවේ ආදායම් පරීක්ෂක ආරියරත්න,බදුල්ල මහ නගර සභාවේ ආදායම් පරීක්ෂක වන ඉන්දික යන මහත්වරුන් ප්‍රමුඛ බිබිල,පස්සර හාලිඇල ප්‍රාදේශීය සභාවන්හි ආදායම් පරීක්ෂකවරු පත්කර ඇත.