වන්දනාවේ යන බැතිමතුන්ට ගලේවෙල පොලීසියෙන් මාර්ග නීතී ගැන පාඩමක්


(කාංචන කුමාර ආරියදාස)
 
වෙසක්  පුන්පොහෝය නිමිත්තෙන්  යතුරුපැදිවලින් සහ ත්‍රිරෝද රථවලින් වෙසක් පුන් පොහෝ දින  හා පසු දිනවල වන්දනාවේ යනෙන බැතිමතුන්ට මාර්ගයේ ගමන් කළ යුතු ආකාරය පිළිබඳව දැනුම්වත් කිරීමේ වැඩසටහනක් ගලේවෙල පොලිස් ස්ථානාධිපතිවරයා වෙසක්පුන් පොහෝදා සිට ආරම්භ කර තිබේ.


වන්දනාවේ යන මෙම බැතිමතුන් මාර්ග නීති උල්ලංඝනය කරමින් ඉතා අශෝභන ආකාරයෙන් මාර්ගයේ ගමන් කරන ,එමෙන්ම හිස් වැසුම් නොමැතිව මෙන්ම විදුලි පහන් දල්වාගෙන පරිසරයට ශබ්ද දූෂණය එකතුකරමින් ගමන් කරන ඇතැම් තරුණයින් ඇතුළු පිරිසට   ජීවිතය පිළිබඳව ඇති අවබෝධතාවය සහ මිනිස් ජීවිතයක වටිනාකම කියාදීමට  තමා මෙම පියවර ගත් බව ගලේවෙල පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජනක  විතානච්චි මහතා සඳහන් කළේය.

ස්ථානාධිපතිවරයා ප්‍රධාන මාර්ගය ඉදිරිපිට යතුරු පැදි හා ත්‍රීරෝද රථ කොටසින් කොටස නවතා මාර්ගය අසලට පුටුවක් රැගෙන විත් පුටුව උඩට නැග ජනතා දැනුම්වත් කළේය.

ගලේවෙල පොලිසියේ ස්ථානාධිපතිවරයා සහ රථවාහන අංශයේ නිලධාරීහු ගලේවෙල පොලිස් ස්ථානය ඉදිරිපිටට පැමිණ මෙසේ නීති විරෝධී අන්දමින් ‍ මාර්ගයේ ගමන් කරමින් තිබූ ත්‍රිරෝද රථ සහ යතුරුපැදි නිරීක්ෂණය කරමින්  ඒවා පොලීසිය ඉදිරිපිටම මේ පිළිබඳව රියදුරන් දැනුවම්වත් කිරීම විශේෂත්වයකි.

මාර්ග නීති පිළිබඳව සහ මිනිස් ජීවිතයේ වටිනාකම පිළිබඳව ලියැවුණු පත්‍රිකාවක්ද මෙම සියලු දෙනාටම ලබා දී එම පත්‍රිකාව ද කියවා නැවත  ගමන් බිමන් යෑම සඳහා අවස්ථාව සලසා දීමට පොලිස් ස්ථානාධිපතිවරයා කටයුතු කළේය.

කුරුණෑගල දඹුල්ල ප්‍රධාන මාර්ගයේ ගතවූ මාසයේ ගතවූ මාස හතරක රිය අනතුරුවලින් පුද්ගලයන් දොළොස් දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව විශාල පිරිසක් තුවාල ලබා තිබේ.

හෙට දවස රට භාර ගැනීමට ඉන්න තරුණයන් මහමග මියැදෙන්නට ඉඩ නොදී ජීවිත ආරක්ෂා කර ගැනීම සියලු දෙනාගේම වගකීම බව  එහිදී  අදහස් දැක්වු  පොලිස් ස්ථානාධිපතිවරයා රියදුරන් දැනුම්වත් කරමින් සඳහන් කළේය.

වන්දනාවේ පැමිණි බොහෝ ත්‍රිරෝද රථවල සහ යතුරුපැදිවල  ප්‍රමාණයට වඩා මගීන් රැගෙන යන ආකාරය ද නිරීක්ෂණය විය. ඇතැම් ත්‍රිරෝද රථවල මගින් දහයකටත් වඩා අධික පිරිසක් ගමන් කරමින් තිබූ බව ද පොලීසිය කියයි.

එකම පවුලේ පිරිස් මේ ආකාරයෙන් ගමන් කිරිදි හදිසි අනතුරක් සිදුවූ විට මුළු පවුලම විනාශ වන බවද පැවසු ස්ථානාධිපතිවරයා සඳහන් කළේ  ‘ පොලිසිය රාජකාරියෙහි යෙදී සිටින්නේ රියදුරන්ට නඩු දැමීමට නොව රිය අනතුරු අවම කරමින් ජීවිත ආරක්ෂා කිරීමට බවයි.