වනජීවි නිලධාරියකුට වැලි ජාවාරම්කරුවන්ගෙන් ප්‍රහාරයක්


(ක.ග කරුණාරත්න)

පොලොන්නරුව, අඹන්ගඟ රක්ෂිතයේ සියඹලාගස්වාඩිය ප්‍රදේශයේ  සිදු කෙරෙන නීති විරෝධී ලෙස වැලි ගොඩ දැමීමේ ජාවාරමක් සම්බන්ධයෙන් වැටලීමකට ගිය පොලොන්නරුව වනජීවී කාර්යාලයේ නිලධාරීන් පිරිසක් අද (2) අලුයම වැලි ජාවාරම්කරුවන්ගේ පහරකෑමකට ලක්ව ඇතැයි වනජීවී නිලධාරිහු කියති.

පහරකෑමට ලක්වූ එක් වනජීවී නිලධාරියෙකු ප්‍රතිකාර සඳහා පොලොන්නරුව මහ රෝහලට ඇතුළු කර ඇත.

මෙසේ රෝහල් ගතකර ඇත්තේ පොලොන්නරුව වනජීවී අඩවි ආරක්ෂක කාර්‍යාලයේ සහකාර අඩවි ආරක්ෂක පී.එම්.බී විජේකෝන් මහතාය.

අඹන් ගඟ රක්ෂිතයේ සියඹලාගස්වාඩිය ප්‍රදේශයේ නීති විරෝධි වැලි ගොඩ දැමීමක් සිදුවන බවට ලැබුණු තොරතුරක් අනුව වනජීවී නිලධාරීන් කණ්ඩායමක් සමඟ එහි ගිය තමන් ඇතුළු කණ්ඩායමට වැලි ජාවාරම්කරුවන් පහර දුන් බව විජේකෝන් මහතා කීය.

රාජ්කාරි කළා ඇති නේද කියා අසමින් ඔවුන් තමන්ට අමානුෂික ලෙස පහර දුන් බව කී ඒ මහතා මේ පිළිබඳව පොලොන්නරුව පොලිසියට පැමිණිලි කර ඇතැයිද කීය.

වනජීවී නිලධාරින්ට පහරදුන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.