වනඅලි පහරදී නිවාස 3ක් විනාශයි - 3ක් රෝහලේ


(නිශාන්ත කුමාර) 
 
ගිරාඳුරුකෝට්ටේ සෙනෙවිගම ගම්මානයකට අද(08) කඩාවැදුණු වන අලිරංචුවක් නිවාස තුනක් පෙරළා දමා කුඩා දරුවකු ඇතුළු තිදෙනෙකුට පහරදී තුවාල සිදුකර ඇතැයි ගිරාදුරුකෝට්ටේ පොලිසිය පවසයි.

සිද්ධියෙන් තුවාල ලැබූ මෙම තිදෙනා මහියංගන මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල පලාත් මහ රෝහල වෙත ඇතුළත් කර ඇත.

මාදුරුඔය හා වස්ගමුව  රක්ෂිතවල සිටි මෙම අලි රංචුව කඩාවැදී ඇතිබව ප්‍රදේශවාසීහු පවසති.

ගම්වැදුනු අලි රංචුව තම නිවසට පහදෙනවිට නිවැසියන් කැළෑවට දිවගොස් ඇති බවත්, අලියෙකු ඔවුන් පසුපස පන්නා පහරදී ඇති බවත් නිවාසවල බිත්ති පෙරළා දැමූ අලි රංචුව වී මලු කිහිපයක් ද කා දමා විනාශ කර ඇති බවත් ප්‍රදේශවාසීහු පවසති. 

ගම්මානය වෙත කඩාවැදුණු අලි රංචුව පන්නා දැමීම සඳහා මේවනවිට කටයුතු ආරම්භකර ඇතිබව ගිරාඳුරුකෝට්ට ප්‍රදේශය බාර අඩවි ආරක්ෂක කේ. ඒ. චන්ද්‍රසිරි මහතා පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් ගිරාදුරුකෝට්ටේ පොලිසිය සහ වනජීවී දෙපාර්තමේන්තුව පරීක්ෂණ පවත්වයි.