වන සතුන්ට ගිනි බිඳින්න ගිය දෙන්නෙක් කොටුවෙයි


(ඔගස්ටින් ප්‍රනාන්දු / එච්. චන්දන )

විදෙස් රටක නිෂ්පාදනය කළ බලපත්‍ර රහිත ගිනි අවියක් රැගෙන යතුරුපැදියකින් යමින් සිටි පුද්ගලයින් දෙදෙනකු  පුත්තලම -  පාවට්ටා මඩුව රක්ෂිත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත්  බව පුත්තලම පොලීසිය කියයි.

මෙම ගිනි අවියෙන් දඩයම් සිදු කරන බවට පොලිසියට ලද තොරතුරක් මත  මග රැකවල්ලා සිටි පොලිස් නිළධාරින් රජයේ රක්ෂිතයකින් එළියට පැමිණ යතුරු පැදියෙන් ගමන් කරමින් සිටි පුද්ගලයින් දෙදෙනා මෙලෙස අත් අඩංගුවට ගෙන තිබේ.

ඩබල් බැර බෝර 12 ගිනි අවියක් වන මෙම ගිනි අවියට හා ජීව උණ්ඩ  7 ක්ද සොයා ගැනීමට හැකිවී තිබේ. අත් අඩංගුවට ගත් සැකකරුවන්  දෙදෙනා වයස අවුරුදු 45 සහ 29 වයස්වල පසුවන අතර මොවුන් සතුන් දඩයමට මෙම ගිනි අවිය භාවිතා කර ඇති බවට  පොලීසිය සිදු කළ මූලික පරීක්ෂණ වලදී  හෙළිවී ඇත.