වන සත්ත්ව දඩයමේ ගිය දෙදෙනෙකු අත්අඩංගුවට


චමිල් රූපසිංහ
 
හාන්තාන හා ගලහ ප්‍රදේශයන්හි රක්ෂිත වලට හොර රහසේ ඇතුළුවී වන සතුන් දඩයම් කළ බව කියන පුද්ගලයින් දෙදෙනෙකු බෝර තුවක්කුවක් හා වායු රයිෆලයක් සමඟ මහකන්ද හිඳගල ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් කණ්ඩායමක් අද (25) අත්අඩංගුවට ගෙන තිබේ.
 
සැකකරුවන් කැබ් රථයකින් ගමන් ගනිමින් සිටියදී විශේෂ බළකා නිලධාරීන් පිරිස එය නවතා පරීක්ෂා කිරීමේදී ගිනි අවි වලට අමතරව වල් ඌරු මස් කිලෝ 137 ක්,ජීව උණ්ඩ 16 ක් හා හිස් පතුරන් කොපු 04 ක් හා අධි බලැති විදුලි පන්දම් හතරක්ද එහි තිබී සොයා ගෙන ඇති අතර  සැකකරුවන් වන සතුන් ඝාතනය කර ජාඇල ප්‍රදේශයේ අවන්හලකට අළෙවි කරන බවද පරික්ෂන වලදි තහවුරු වි ඇත. 
 
ජාඇල ප්‍රදේශයේ පදිංචි සැකකරුවන් වන සතුන් ඝාතනය කිරීමෙන් පසු කැබ් රථයේ පසුපස සතුන්ගේ මස් අතුරා ඊට උඩින් ෆයිනස් දැව දමා ඒවා ජාඇළට ප්‍රවාහනය කර තිබෙන බව පොලීසිය පවසයි.
 
සැකකරුවන් සමඟ අත්අඩංගුවට ගත් ගිනි අවි,මස් තොගය හා කැබ් රථය විශේෂ කාර්ය බළකා නිලධාරීන් වැඩිදුර පරීක්ෂණ සඳහා පේරාදෙණිය පොලීසියට බාරදී තිබේ.