වන අලියෙක් නිසා අම්පාර මහ රෝහලේ කලබලයක්



(නවරත්න සමරතුංග)
 
අම්පාර මහරෝහල් නවගම්පුර ප්‍රධාන මාර්ගය දෙසින් ඇති   රෝහලේ පිවිසුම් ගේට්ටුවට පහර දුන් වල් අලියෙකු  රෝහල් පරිශ්‍රයට අද (22) අලුයම  ඇතුලු වීමත් සමඟ  සිදුවන්නට ගිය මහ විනාශයක් පාලනය කරගැනීමට හැකිවූ බව  වැඩබලන රෝහල් අධ්‍යක්ෂ හංස රාමනායක  මහතා පැවසීය. 
 
රෝහල් අධ්‍යක්ෂවරයා පැවසුවේ රෝගීන්ගේ ආරක්ෂාව සලකමින් අලි වෙඩි දමා අලියා පලවා හැරීමට තමන් හා එහි ආරක්ෂක නියාමකයින් කටයුතු කළ බවයි.
 
අලියා පහරදීම හේතුවෙන් රෝහලෙහි ගේට්ටුව  හා තාප්ප කොටසක්  මුළුමනින්ම කඩා බිඳ දමා ඇති   අතර  රෝහලට විශාල හානියක් සිදු වී ඇත. 
 
මෙම අලියා පලවාහරින අවස්ථාවේ අලියා තමන් පසුපසු පන්නා පහර දීමට පැමිණිවිට දුවගොස් නූලෙන් ජීවිතය බේරාගත්   බව  අලියා  එළවීම සඳහා අලිවෙඩි දැමු ආරක්ෂක නිලධාරියා සඳහන් කළේය.
 
දැනට සති තුනක කාලයක් අම්පාර මහ රෝහලට යාබද නවගම්පුර ගමේ නිවාස කඩා දමමින් මහජනතාවට මහත් හිරිහැර පමුණුවන මෙම අලියා අල්ලා වෙනත් සුදුසු කලාපයකට  ගෙනගොස් දැමිය යුතු බවද ඔහු  සඳහන් කළේය. 
 

මේ පිළිබඳව අම්පාර වනජීවී දෙපාර්මේන්තු කාර්යාලය දැනුම්වත් කළ බවද ඔහු සඳහන් කළේය.