වතුකරයේ දරුවන්ට වටපණු ආසාදනය


(චමිල් රුපසිංහ)

මහනුවර දිස්ත්‍රික්කයේ වතුකරය ආශ්‍රීතව වයස අවුරුදු 1 ත් 12ත් අතර දරුවන්ගෙන් 30%කට පමණ වටපණු ආසාදන රෝගය වැළඳී ඇති බවත් මෙය වළක්වාලීම සදහා ඉතාම කඩිනමින් පියවරක් ගත යුතු බවත් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පරපෝෂි දෙපාර්තුමේන්තුවේ අංශ ප්‍රධානී  ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සුසුජි වික්‍රමසිංහ මහතා පවසයි.

පසුගියදා පේරාදෙණිය විශ්ව විද්‍යාලය මගින් සංවිධානය කරන ලද ඝර්ම කලාපිය රෝග සම්බන්ධ අන්තර් ජාතික සමුඵවේදි මේ සම්බන්ධව වැඩිදුරටත් සාකච්ඡා කළ බවද වික්‍රමසිංහ මහතා පැවැසීය.

මෙම රෝගය නගරය තුළ සියයට 1 ටත් වඩා අඩු තත්වයක ඇති අතර මහනුවර වතු ආශ්‍රිතව කළ පර්යේෂණවලදි එය සැහීමකට පත්විය නොහැකි බවද සුසුජි වික්‍රමසිංහ මහතා කියයි.

මෙම රෝගය නිසා ළමුන්ගේ කුඩා කල වර්ධනය හීනවීමක් ඇති වන බවත් මෙය ඉතාමත් පහසුවෙන් වළක්වා ගත හැකි රෝගයක් බැවින් නිසි පරිදි ඖෂධ ගැනිමෙන් මෙය වළක්වා ගත හැකි බවත් ඔහු කියා සිටී.