වතු සේවකයෝ පිරිසක් ගසක් මත නැගී විරෝධතාවයක


(රවී ලියනගේ)

තමන්ගේ දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩිකරන ලෙස  ඉල්ලා උඩුගම නාකියාදෙණිය වතු කර්මාන්ත ශාලාවක සේවකයෝ පස් දෙනෙකු අද (06) අදාළ කම්හල ඉදිරිපිට පිහිටි ගසක් මත නැගී  විරෝධතාවයක නිරතවුහ.

මෙම  වතුයායේ සේවක සේවිකාවන්  1300ක් පමණ  සේවය කරන අතර  තමන්ගේ දෛනික වැටුප රුපියල්  දහස දක්වා ඉහළ නංවන ලෙස ඉල්ලා  ඔවුන් වැඩ වර්ජනය කරන්නේ ඉකුත් 25 වැනිදා සිටය.               

කෙසේ වෙතත් මෙම වැඩ වර්ජනය සම්බන්ධයෙන් වතුයායේ බලධාරීන් නිසි විසඳුමක් ලබානොදීම හේතුවෙන් වතුයාය ආසනන්යේ තිබූ දැවැන්ත මාර  ගසක්  මත කම්කරුවෝ පස් දෙනෙක් නැගී  උද්ඝෝෂණයේ නිරත වූහ.

මෙම ස්ථානයට පැමිණි වරාය හා නාවික  නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම  මහතා උද්ඝෝෂකයින් සමඟ සාකච්ඡා කරනු ලැබූවද තමන්ට පාලනාධිකාරිය විසින් ලිඛිතව වැටුප් වැඩි කරන බවට පොරොන්දුවක් ලබාදෙන තුරු විරෝධතාවය අත් නොහරින බව ඔවහු පැවැසූහ.