වංචනික ලෙස මුදල් එකතු කළ දෙදෙනෙක් වැලිමඩදී අත්අඩංගුවට


(ඩී.කේ.රත්න )
කුඩා දරුවෙකුගේ හදිසි සැත්කමකට යැයි  පවසමින්  ජනතාව මුළා කරමින්  වැලිමඩ නගරයේ වංචනිකව මුදල් එකතු කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු අද ( 26)  අත්අඩංගුවට ගෙන ඇතැයි වැලිමඩ පොලිසිය පොලීසිය පවසයි.
 
වැලිමඩ පොලිසියේ බුද්ධි අංශයේ නිලධාරීන් ලද තොරතුරක් මත වැලිමඩ සමූපකාර ඉන්ධන පිරවුම්හල අසළ  පිහිටි තාවකාලික බස් නැවතුම්පළේදී මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ. 
 
ආසිරිගම,  ගෝනවල ප‍්‍රදේශයේ කුඩා දරුවෙකුගේ සැත්කමක් සම්බන්ධයෙන් මුදල් එකතු කිරීමට අදාළ ලිපි ගොනුවක් මොවුන් සතුව තිබී ඇති අතර මෙම කුඩා දරුවාගේ සැත්කම සඳහා මුදල් එකතු කිරීම සම්බන්ධව විවිධ පාර්ශවයන් විසින් ලබා දුන් ලිපිද මොවුන් අත තිබී ඇත.
 
එම ලිපි පිළිබදව නිවැරදි තොරතුරු ලබාදීමට අදාළ පුද්ගලයින්ට නොහැකිවීම නිසා මෙසේ අත්අඩංගුවට ගෙන ඇත. 

අත්අඩංගුවට ගනු ලබන අවස්ථාවේදී මොවුන් සන්තකයේ තිබී ජනතාවගෙන් එකතු කරන ලද රුපියල් 9,135ක මුදලක්ද පොලිසිය සොයා ගෙන තිබේ.  සැකකරුවන් වැලිමඩ මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.