ලොරි රථ දෙකක් ගැටී අයෙක් මරුට


(ක.ග කරුණාරත්න)

හබරණ - ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේ කිතුල්උතුව ප්‍රදේශයේදී ඊයේ (27) රාත්‍රි 9.15 ට පමණ ලොරි දෙකක් මුහුණට මුහුණලා ගැටීම නිසා සිදුවූ අනතුරක් හේතුවෙන් එක් ලොරියක රියැදුරකු බරපතළ තුවාල ලබා රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් ඇතැයි හබරණ පොලීසිය කියයි.

කන්තලේ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු අද(28)අලුයම ඔහු මියගොස් ඇත්තේ මාතලේ, උකුවෙල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන හේරත් මුදියන්සේලාගේ චමින්ද කුමාර හේරත් (37) යන අයෙකි.

අනතුරින් තුවාල ලැබූ අනෙක් ලොරියේ රියදුරා ද ප්‍රතිකාර සඳහා දඹුල්ල රෝහලට ඇතුළත් කරනු ලැබ සිටී. 

ත්‍රිකුණාමලයේ සිට සිමින්ති තොගයක් රැගත් ස්කැමල් වර්ගයේ විශාල ලොරියක් සහ හබරණ සිට ත්‍රිකුණාමලය දෙසට ධාවනය වෙමින් තිබූ තවත් ලොරියක් මෙසේ එකිනෙකට ගැටී මෙම අනතුර සිදුව ඇතැයි විමර්ශන කටයුතු සිදුකරන පොලිස් නිලධාරීහු කියති.