ලක්ෂ25ක පරිගණක 90ක් සොරාගත් අයෙක් අත්අඩංගුවට



(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
 
කිරුළපන නගරයේ පිහිටා ඇති ආගමික මධ්‍යස්ථානයක ඉගෙනුම ලබන සිසුන්ට බෙදා දීමට ගෙනැවිත් තිබූ  ලක්ෂ 25කට අධික වටිනාකමින් යුතු ටැබ් පරිගණක යන්ත්‍ර 90ක් සොරාගත් පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව කිරුළපන පොලිසිය කියයි.
 
සොරාගත් පරිගණක පිටකොටුව අලෙවිසැල් දෙකකට විකුණා ඇති බව සැකකරු ප්‍රකාශ කළ බවත්, එම අලෙවිසැල්වල තිබී ටැබ් පරිගණක 60ක් පොලිසිය බාරයට ගත් බවත් පොලිසිය පවසයි.
 
ඉන් එක් පරිගණකයක වටිනාකම රුපියල් 28,000ක් පමණ වන බවත් සැකකරු එය රුපියල් 8,000 වැනි සුළු මුදලකට අලෙවි කර ඇති බවත් පොලිසිය කියයි.
 
පරිගණක අලෙවියෙන් සැකකරු උපයාගත් මුදලින් කොටසක් ගෙවා යතුරුපැදියක් මිලදී ගෙන ඇති අතර, සෙසු මුදලින් මහරගම රෝහලකට දානයක් දී ඇති බව අනාවරණය වී ඇත.
 
ආගමික මධ්‍යස්ථානයේ සවිකර තිබූ සී සීටීවී කැමරා දර්ශන අනුව, කදාන ප්‍රදේශයේ නිවසක රැදී සිටි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
 
ඉතිරි ටැබ් පරිගණක 30 සොයා පොලිසිය පරීක්ෂණ පවත්වයි.
 
සැකකරු අලුත්කඩේ අංක 3 අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.