ලක්ෂ 40 ක ස්වර්ණාභරණ සොරා ගත් සිව් දෙනෙක් අත්අඩංගුවට



 
(අනීෂා මානගේ)
 

ස්වර්ණාභරණ වෙළඳසලකින් සොරකම් කරන ලද රුපියල් ලක්ෂ 40කට අධික වටිනාකමකින් යුත් රිදී හා රන් භාණ්ඩ තොගයක් සැකකරුවන් සිව් දෙනෙක් සමඟ ඊයේ (12) අත්අඩංගුවට ගත් බව තංගල්ල කොට්ඨාස භාර පොලිස් අධිකාරී ලක්සිරි ගීතාල් මහතා පැවසීය.

හම්බන්තොට නගරයේ පිහිටි ස්වර්ණාභරණ වෙළඳසලකට පසුගිය 5 වැනි දා අලුයම ඇතුළු වූ පිරිසක් වෙළඳසලෙහි සේප්පුවක් කඩා එහි තිබූ රන් හා රිදී භාණ්ඩ තොගයක් සොරකම් කර පලා ගොස් තිබේ.

වෙළඳසලේ සවිකර තිබූ සීසීටීවී පද්ධතියේ දත්ත ගබඩාවද සොරුන් විසින් ගලවාගෙන යන ලදී. 

සොයාගත් භාණ්ඩ ‍අතර කිලෝග්‍රෑම් පහක් පමණ බරින් යුත් රිදීයෙන් තනන ලද මාල, වළලු, කාසි, අත්පළදනා, පා සළඹ, ග්‍රෑම් 700 ක් පමණ බරින් යුත් රනින් නිම කරන ලද මාල, මුදු, කරාබු, අත් පළදනා, පෙන්ඩන්ට්, වළලු හා රුපියල් පන්දහසේ ව්‍යාජ නෝට්ටු තුනක් තිබී සොයා ගෙන තිබේ. 

සොරකම සිදු කිරීමට උපයෝගී කරගත් මෝටර් රථයක් හා ජංගම දුරකථන පහක් ද පොලිස් බාරයට ගෙන ඇත.