(මාවනැල්ල සමන් විජය බණ්ඩාර)
ගම්පහ ඩිපෝවට අයත් බස් රථයක් කෑගල්ල කරඩුපන මං සන්දියේ කහ ඉර මතදි වයස අවුරුදු 70 ක කාන්තාවක් යට කර ගෙන යෑම නිසා එම කාන්තාව එම මොහොතේම මිය ගිය බව අද (17) කෑගල්ල මූලස්ථාන පොලිසිය පවසයි.
මෙම අවාසනාවන්ත අනතුරෙන් මිය ගොස් ඇත්තේ ඇලැහ මඩයලෑ පොඩිනෝනා නම් කාන්තාවකි. ඇය දංගහමඩිත්ත උස්සාපිටිය ලිපිනයේ පදිංචිකරුවෙකි. උදෑසන 6 ත් 7 ත් අතර කාලයේදි මාවනැල්ල දෙස සිට පැමිණි කාන්තාව එම ස්ථානයෙන් බැස රඹුක්කන බස් රථයකට ගොඩ විම සඳහා කහ ඉර මාරු වි ඇති අතර සියලු වාහාන කහ ඉර මත මගීන්ට මාරු විමට නවතා තිබියදි වේගයෙන් පැමිණි ලංගම බස් රථය මෙම කාන්තාව කහ ඉර මතදි යට කර ගෙන ගිය බව පොලිසිය පවසයි.
මෙම අනතුර සිදු කිරිම සම්බන්ධයෙන් සැකපිට අදාල ලංගම ඩිපෝ බස් රථ රියදුරා කෑගල්ල මූලස්ථාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම බස් රථය කොළඹ සිට ගම්පොල දක්වා උදෑසන ධාවනය වන බස් රථයක් වන බවද පොලිසිය කියයි.
අදාල සිද්ධීය සම්බන්ධයෙන් කෑගල්ල මූලස්ථාන පොලිසිය වැඩිදුර පරික්ෂණ මෙහෙයවයි.



