(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)
ලංකා වතු සේවා සංගමයේ සේවකයෝ පිරිසක් අද(28) බ්‍රන්ස්වික් තේ වතුයායේ සමාජ ශාලා ගොඩනැඟිල්ල හා තලවාකැලේ වතුයායේ තේ කර්මාන්ත ශාලාව ඉදිරිපිටදී විරෝධතාවක නිරතවූහ.
මෙම විරෝධතාවයට මස්කෙළිය වැවිලි සමාගමට අයත් මස්කෙළිය ප්‍රදේශයේ පිහිටි, ස්ට්‍රැත්ස්පී, බ්‍රන්ස්වික්, මෝකා, ග්ලැනුජි, ලක්ෂපාන, මරේ, ග්ලෙන්ටිල්ට්, මාවුස්සාකැලේ, හපුගස්තැන්න, බ්‍රවුන්ලෝ, ඩීසයිඩ්, තලවාකැලේ,ෆෙයරෝම්, ශාන්ත ක්ලෙයාර් හා ටෘෆ් යන තේ වතු 14 ක සාමාජිකයෝ 700 ක පමණ පිරිසක් එක්ව සිටියහ.
මොවුන් විරෝධතාවෙයේ යෙදෙන තෙවන දිනය අද(28)යි.
ලංකා වතු සේවක සංගමයේ විධායක මණ්ඩල සභික සෞන්දර්රාජ් චන්ද්‍රමෝගන් මහතා කියාසිටියේ, මස්කෙළිය වැවිලි සමාගම ඇතුළු වැවිලි සමාගම් 18 ක් එක්ව නොවැම්බර් 6 වන දින වතු සේවක සංගමය සමග අත්සන් තබන ලද එකඟතා ගිවිසුම අනුව 25% ක වැටුප් වැඩිකිරීමකට එකඟතාව පළ කළ බවත්, රිචඩ් පීරිස් සමාගම යටතේ ඇති මස්කෙළිය, නමුණුකුල හා කෑගලු යන වැවිලි සමාගම්වලට අයත් වතුවල එම වැටුප් වැඩිකිරීම මූලික වැටුපට එකතු නොකර දීමනාවක් වශයෙන් ලබා දෙන බවත්ය.
මෙම හේතුව නිසා තමන්ගේ සේවක අර්ථ සාධක හා සේවා නියුක්තිකයින්ගේ බාර අරමුදල මෙන්ම අනෙකුත් දීමනාවලටද දැඩි අසාධාරණයක් සිදුව ඇති බවද, මෙම අසාධාරණය හේතුවෙන් මස්කෙළිය වැවිලි සමාගමට අයත් වතු 14 ක ලංකා වතු සේවා සංගමයේ සාමාජිකයින් නොවැම්බර් මාසයේදී වැටුප ලබා ගැනීම වර්ජනය කරමින් විරෝධතාවයේ යෙදෙන බවද හෙතමෙ පැවසීය.
වැටුප් වැඩි කිරීම, මූලික වැටුපට එකතු කර ලබා දෙන ලෙස මස්කෙළිය වැවැලි සමාගමේ වගකිවයුත්තන්ට හා අනෙකතුත් බලධාරීන්ට දැනුම් දුන්නද මේ දක්වා ඊට විසඳුමක් ලබා දී නොමැති බව කී ඒ මහතා විසඳුමක් ලබා නොදුනහොත් ඉල්ලීම් ලැබෙන තෙක් ලංකා වතු සේවක සංගමය අඛණ්ඩ වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බවද කීය.




