රිය අනතුරකින් තරුණයෙක් මරුට



 (ක.ග.කරුණාරත්න)
 
නුවරගල සිරිපුර මාර්ගයේ සිරිපුර නගරයට ආසන්නයේදී  තරුණයෝ දෙදෙනෙකු ගමන් ගත් යතුරු පැදියක් මාර්ගයෙන් ඉවතට පැන ගසක වැදීම නිසා සිදුවූ අනතුරකින් එක් අයෙකු මරුමුවට පත්වී ඇතැයි අරලගංවිල පොලීසිය කියයි.
 
එම අනතුරින් මිය ගොස් ඇත්තේ යතුරු පැදියේ පිටුපස ගමන් ගත් සිරිපුර,මුදුන්ගම,අංක 226 ලිපිනයේ පදිංචි හොරතල් පේඩිගේ තරිඳු දිනූක ජයරත්න නැමැති 17 හැවිරිදි තරුණයෙකි.
 
එම වයසේම තරුණයෙකු වන යතුරු පැදියේ පැදිකරු බරපතල තුවා ලබා ප‍්‍රතිකාර සඳහා පොලොන්නරුව මහ රෝහලට ඇතුලත්කර ඇත.
 
මොවුන් දෙදෙනා මළ ගෙදරක ගොස් ආපසු සිය නිවෙස් බලා එමින් සිටියදී මෙම අනතුර සිදුව තිබෙන බවත් යතුරු පැදියේ අධික වේගය එහි පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකිවීම නිසා එය මාර්ගයෙන් ඉවතට පැන ගසක වැදී අනතුර සිදුව තිබෙන බවත් විමර්ශනවලදී අනාවරණය කරගෙන තිබේ.
 
මිය ගිය තරුණයාගේ මරණය සම්බන්‍ධයෙන් මරණ පරීක්‍ෂණය සහ පශ්චාත් මරණ පරීක්‍ෂණය අද(03) සිදුකිරීමට නියමිත බව පොලීසිය සඳහන් කලේය.
 
අරලගංවිල පොලීසිය මේ පිළිබඳව පරීක්‍ෂණ පවත්වයි.