රිදීමාලියද්දේ පොහොර හිඟය උග්‍රවේ


(නිශාන්ත කුමාර)

මහ කන්නයේ කුඹුරු සහ හේන් වගා කටයුතු ආරම්භ කර මේ වන විට මාස දෙකකට ආසන්න කාලයක් ගතවී  ඇතත්  මේ වන විට උද්ගතවී ඇති  පොහොර  හිඟය හේතුවෙන් තම වගාවන්ට මේ වන තුරුත් එක් පොහොර මුරයක් හෝ යෙදීමට නොහැකිවී ඇතැයි  වියලුව මහියංගන රිදීමාලියද්ද හා ඒ අවට ප්‍රදේශයන්හි ගොවියෝ පවසති.

රජයේ පොහොර සහනාධාරය බලාපොරොත්තුවෙන් ගොවිතැන් කළ තමුන්ට මේ වන විට වැඩි මුදලටවත් පොහොර ලබා ගැනීමට  හැකියාවක් ලැබී නැතැයිද ඔවුන් පවසති.

ඒ අතරින් මහ කන්නය මේ අයට විශේෂයි. මොකද කුඹූරු වගේම හේන් වවන්නෙත් මහ කන්නයේ නිසා. මෙවර කන්නයේ වගා ආරම්භ කරල මේ වන විට මාස දෙකකුත් පහුවෙලා. හරිනම් මේ වන විට දෙවැනි පොහොර මුරයත් වගාවලට දාන්න ඕනෑ. හැබැයි එක පාරක්වත් වගාවට  පොහොර දා ගන්න බැරි වුණු විශාල පිරිසක් මේ ගොවි ජනපද වල ඉන්නවා. රජයේ පොහොර සහනාධාරය කෙසේ වෙතත් වැඩි මිලට අරගෙන හරි දාන්න කඩවල්වලත් පොහොර නැතැයි කණුගොල්ල ගොවිජන සංවිධානයේ සභාපති එච්.එම්.විජේබණ්ඩාර මහතා පැවසීය.

පුලුවන් කීප දෙනෙකු නම් වැඩි මිලට පිට ප්‍රදේශ වලින් පෝර ගෙනත් වගාවට දානවා. ඒකත් යන්තමට. මොකද පෝර මිටියක් රුපියල් 2800-3200 ක් වෙනවා. ප්‍රවාහන වියදමත් එක්ක ගත්තම 3500-4000ක් වෙනවා. එහෙම පොර ගෙනත් දානවට වඩා නිකන් ඉන්න එක හොදයි කියල මේ අය දැන් වගාව අත අරින තත්ත්වයට පත්වෙලා. මේ හේතුව නිසා මේ වන විට හේන් වගාව වගේම කුඹුරු වගාවත් නිසරු වෙන තත්ත්වයට පත්වෙලා. මේකට පොහොර හැර වෙන විකල්පයක් ඇත්තෙත් නැතැයි ඔහු කීවේය.