රාජ්‍ය අමාත්‍යවරයාට බැනවැදුණ පුද්ගලයා අධිකරණයේදී වරද පිළිගනී


(දිලිප් ජයසේකර)
විදුලිබල හා පුනර්ජනනිය බලශක්ති රාජ්‍ය අමාත්‍ය අජිත් පි පෙරේරා මහතා පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකුව සිටි සමයේ මත්තල ගුවන්තොටුපොල පරිශ්‍රයේ  සිදු කළ  නිරීක්ෂණ චාරිකාවකදී  අමාත්‍යවරයාගේ  අතින් ඇද බැනවැදී සාපරාධී බලහත්කාරය පෑමේ චෝදනා එල්ල වු සැකකරු  හම්බන්තොට මහාධිකරණ විනිසුරු තාමර තෙන්නකොන් මහතා හමුවේ සිය වරද පිළිගත්තේය.

වර්ණසිංහ ප්‍රියලාල් පියරත්න නොහොත් කහවත්තේ සුදා නැමති අයට එරෙහිව නිතිපති වරයා විසින් හම්බන්තොට  මහාධිකරණයේ මෙම නඩු පවරා තිබුණි.

ඒ අනුව පෙරේදා (26) හම්බන්තොට මහාධිකරණයේදි නඩු විභාගය කැඳවු අතර එහිදී චුදිත වරද පිළගත්තේය.  එම සිදුවිම සම්බන්ධයෙන් අගතියට පත් පාර්ශවයෙන් සමාව අයදින බවත් විත්තිකරු නිතිඥයකු මාර්ගයෙන් අධිකරණයට දන්වා සිටියේය.

ඒ අනුව ඉදිරිපත් වු සියළු කරුණු සළකා බැලූ හම්බන්තොට මහාධිකරණ විනිසුරුවරයා  සැකකරුට වසරක ලිහිල් වැඩ සහිත සිර දඬුවමක් නියම කළ අතර එය වසර 05ක කාලයකට අත්හිටුවා විත්තිකරුට රුපියල් 50ක දඩ මුදලක්ද නියම කළේය. දඩ මුදල නොගෙවන්නේ නම් තවත් මාසයක සිර දඩුවමක්ද නියම කැරිණි.

2014 වසරේ අප්‍රේල් මස 17 වන දින එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් සමඟ   මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොල හා හම්බන්තොට මාගම්පුර වාරායේ නිරික්ෂ චාරිකාවක යෙදුණු අවස්ථාවේ එවකට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුව සිටි වත්මන් විදුලිබල හා පුනර්ජනනිය බලශක්ති රාජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතාට මත්තල ගුවන්තොටුපොල පරිශ්‍රයේදී මෙම සිදු වීමට ලක්ව තිබිණි.