රජරට වෛද්‍ය පීඨයේ අර්බුදයට තවම විසඳුමක් නෑ


(රංජන් කස්තුරි)

රජරට වෛද්‍ය පීඨයේ අර්බුදයට දින 50ක් ගතව ඇතත් ඊට තවමත් විසඳුමක් නැතැයි රජරට විශ්වවිද්‍යාලීය වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය චෝදනා කරයි.

රජරට වෛද්‍ය පීඨයේ ආචාර්යවරුන් අකුරට වැඩකිරීමේ  වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භකර මේ වනවිට දින 50ක් ගතව ඇතත් ඔවුන්ගේ ඉල්ලීම් වලට විසඳුම් දීමට රජය අපොහොසත්ව ඇතැයිද රජරට වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමයේ සභාපති ආර්.නන්දසිරි මහතා පැවැසීය.

රජරට වෛද්‍ය පීඨ ආචාර්යවරුන්ට ලබාදුන් රඳවා ගැනීමේ දීමනාව අත්හිටුවීම නිසා ආචාර්යවරුන් අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර සිටින අතර එම නිසා සිසුන්ගේ අවසන් වසර විභාග කල් දැමීමට සිදුව ඇතැයිද ඔහු කීය.

රජරට වෛද්‍යපීඨ ආචාර්යවරුන්ගේ රඳවාගැනීමේ දීමනාව යළි ලබාදෙන්නැයි ජනාධිපතිවරයා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට ඉකුත් ඔක්තෝම්බර් මස 26 වැනිදින ලිඛිත දැනුම්දීමක් කර ඇතත් කොමිෂන් සභාවේ නිලධාරීන් ඊට පියවර ගෙන නැතැයිද ඔහු සඳහන් කළේය.

රජරට වෛද්‍ය පීඨයේ ශිෂ්‍ය කණ්ඩායම් 6කට අයත් සිසුන් 1080 ක් අධ්‍යාපනය ලබන අතර ශිෂ්‍ය නේවාසිකාගාර කියවීම්ශාලා වැනි භෞතික සම්පත් රැසක හිඟයක් පවතින බවද ඔහු කීය.