යුද්දෙන් විනාශ වූ නිවාස වෙනුවට අලුත් නිවාස 30 ක්



                       
(රොමේෂ් මධුෂංඛ)

යුද්දය හේතුවෙන් විනාශ වූ යාපනය දිස්ත්‍රික්කයේ තෙලිප්පලෙයි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් වරුතලෙයිවිලාන් ගම්මානයේ නිවාස ව්‍යාපෘතියක් ජනතා අයිතියට පත්කරනු ලැබීය. 

බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම හා හින්දු ආගමික කටයුතු අමාත්‍ය ඩී.එම්.ස්වාමිනාදන් මහතාගේ උපදෙස් පරිදි ආරම්භ කරනු ලැබූ මෙම නිවාස ව්‍යාපෘතිය යුද හමුදාපතිගේ අධීක්ෂණයෙන් යාපනය ආරක්ෂක සේනා ආඥාපතිතුමාගේ මෙහෙයවීම මත යුද හමුදා සෙබලුන්ගේ ශ්‍රම දායකත්වයෙන් මෙම නිවාස සාදා දෙනු ලැබීය.

බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම හා හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශයේ මූල්‍ය ප්‍රතිපාදන මත ඉදිකරනු ලැබූ මෙම නිවාස ව්‍යාපෘතිය නිවාස ඒකක 30 කින් යුක්තය. 

එක් නිවසක් ඉදිකිරීම සඳහා වැයකරනු ලැබූ මුදල රුපියල් ලක්ෂ 8 ක් වූ අතර නිවාස ව්‍යාපෘතිය සදයා වැයවූ මුදල රුපියල් ලක්ෂ 240 කි.

නිවාස ප්‍රතිලාභීන්ගේ මෙන්ම 513 සේනාංකයේ සෙබලුන්ගේ ශ්‍රමදායකත්වය මත මෙම නිවාස ඉදිකිරීම් කටයුතු සිදු කැරිණි. 

නිවාස ව්‍යාපෘතියට සමගාමීව මාර්ග, විදුලිය, සනීපාරක්ෂක ඇතුළු යටිතල පහසුකම් ලබා දීමට ද කටයුතු කර තිබේ.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා, අමාත්‍යාංශ ලේකම් පී.සුරේෂ්, යාපනය ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි ඇතුළු පිරිසක් සහභාගි වුහ.