යාපනයේ ළිඳකින් හමුවු පාසල් දැරියගේ අවසන් කටයුතු සිදුවෙයි



 
රොමේෂ් මධුෂංඛ
 
යාපනය ප්‍රදේශයේ දී ඝාතනයට ලක්වු දැරියගේ අවසන් කටයුතු ඊයේ (26) සවස යාපනය සුලිපුරම් තිරුවේඩිනිලෙයි සුසාන භූමියේදී විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් සිදු විය. 


මියගිය 6 හැවිරිදි ශිවනේශ්වරන් රෙජීනා දැරියගේ ගෙල සිරකර ඝාතනය කර ඇති බවට පශ්චාත් මරණ පරික්ෂණයෙන් හෙළි වූ අතර  අදාළ ඝාතනය සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් 06 දෙනෙකු වඩුක්කොඩ්ඩෙයි පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.


පාසල් නිළ ඇඳුමකින් සැරසි සිටි පාසල් දැරිය පාසල් ගොස් නැවත නොපැමිණීම හේතුවෙන් සොයා බැලීමේදී දැරියගේ මළ සිරුර සුළිපුරම් ප්‍රදේශයේ ළිඳක තිබි 25 වැනි දා සවස සොයා ගනු ලැබීය.


සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන් සුළිපුරම් කාසුකුලම්හි ප්‍රදේශයේ පදිංචි සිවකුමාර් සදිස්කුමාර් නැමත්තා ප්‍රධාන සැකකරු බවට හඳුනාගෙන ඇති බවද වඩුක්කොඩෙයි පොලීසිය කියයි.


අදාළ සැකකරු හා මියගිය දැරියගේ පවුල් අතර කලක සිට ආරවුලක් පැවති අතරම ප්‍රධාන සැකකරු දැඩි ලෙස මත්ද්‍රව්‍යට ඇබ්බැහි වූ අයෙකු බවද මේ වන විට අනාවරණය වී ඇති බව වඩුක්කොඩෙයි පොලීසිය පවසයි.