යාපන කලා පීඨයේ පන්ති වර්ජනයක්


( සිතුම් චතුරංග )

යාපනය විශ්ව විද්‍යාලයේ කලා පීඨයේ පංති තහනම් කර සිටින සිව්වන හා තෙවන වසර සිසුන්ගේ තහනම ඉවත්කරන ලෙස ඉල්ලා අද (17) එම විශ්ව විද්‍යාලයේ කලා පීඨයේ පළමු හා දෙවන වසරෙහි සිසූහූ පංති වර්ජනයක නිරතවුහ.

යාපනය විශ්ව විද්‍යාලයේ කලා පීඨයේ තුන්වන සහ සිව්වන වසර සිසුන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් හේතුවෙන්  එම සිසුන්ට පංති තහනම් කර කලා අංශය දින නියමයක් නොමැතිව වසා දැමීමට යාපනය විශ්ව විද්‍යාල පාලනාධිකාරිය පියවර ගෙන තිබිණි.

විශ්ව විද්‍යාලයේ උප කුලපති රත්නම් විග්නේෂ්වරන් මහතා සමඟ සාකච්ඡා පැවැත්වු කාලා පීඨයේ පාලන අධිකාරිය එම පීඨයේ තුන්වන සහ සිව්වන වසර කලා අංශය තාවකාලිකව වසාදැමීමට තීරණය කළේය.

යාපනය විශ්ව විද්‍යාලයේ කලා ශිෂ්‍ය සංගමයේ සභාපති වසන්තරාජා අනුජන් පවසා සිටියේ එම පංති තහනම ඉවත්කර එම අංශ යළි විවෘත කරන තුරු පළමු හා දෙවන වසර සිසුන් පංතිවර්ජනයේ නිරතවන බවයි.

කලා පීඨයේ සිසුන් පිරිසක් නවක වදය සිද්ධියක් මූලික කරගනිමින් බීමත්ව පැමිණ කලහකාරි ලෙස හැසිරීම හේතුවෙන් පසුගිය 11 වැනිදා සවස එම පීඨයේ තුන්වන සහ සිව්වන වසරෙහි සිසුන් අතර නොසන්සුන්කාරීතත්වයක් ඇති විය. පසුව එය ගුටිබැට හුවමාරුවක් දක්වා වර්ධනය වූ  අතර පහරදීම් හේතුවෙන් සිසුන් සිව්දෙනකු තුවාල ලබා යාපනය රෝහල වෙත ඇතුලත් කරනු ලැබීය.

සිද්ධිය සම්බන්ධයෙන් කලා පීඨයේ පීඨාධිපති ආචාර්ය කේ. සුදාකරන් මහතාගේ ප‍්‍රධානත්වයෙන් පරීක්ෂණයක් ආරම්භ කෙරුණු අතර එම පරීක්ෂණ හේතුවෙන් සිව්වන හා තෙවන වසර යළි ආරම්භ කිරීමට පමාවී ඇතැයි යාපන විශ්ව විද්‍යාල පාලනාධිකාරිය කියයි.