යතුරුපැදි අනතුරකින් පුද්ගලයකු මරුට


නිශාන්ත කුමාර

මහියංගණ බදුල්ල ප්‍රධාන මාර්ගයේ ගමන්ගත් යතුරුපැදියක් අද (22) දහවල් 12.30 ට පමන එම මාර්ගයේ 21 හංදිය ආසන්නයේදී මාර්ගයෙන් ඉවතට ධාවනය වී මාර්ගය අසල තිබූ කුඹුක් ගසක ගැටීමෙන් එහි ගමන් ගත් පුද්ගලයෙකු මිය ගිය බව කන්දකැටිය පොලිසිය පවසයි.

සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කන්දකැටිය ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී වරයෙකු වන කන්දකැටිය බුබුල පදිංචි ඩබ්ලිව් එම් කරුණාතිලක (49) නැමති පුද්ගලයෙකි.

ධාවනය වෙමින් තිබූ යතුරුපැදියේ ඉදිරිපස රෝදය පුපුරා ගොස් යතුරු පැදිය පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට ධාවනය වී ගසෙහි හැපීමෙන් අනතුර සිදුව ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණයය වී ඇත.

අනතුර සම්බන්ධයෙන් කන්දකැටිය පොලිසිය පරීක්ෂණ පවත්වයි.