යක්කලදී වාහන හතරක් ගැටී අයකුට තුවාල


තිලකරත්න දිසානායක
 
යක්කල නගරයට නුදුරු කොළඹ දෙසට ඇති බස් නැවතුම්පොළ අසලදී අද  සවස  වාහන හතරක් ගැටීමෙන් බස් නැවතුම අසල සිටි අයෙකු තුවාල ලබා ගම්පහ රෝහලට ඇතුලත් කර තිබේ.
 
ජීප් රියක්, බස් රථයක්, කාරයක් සහ ත්‍රිරෝද රථයක් මෙලෙස එකිනෙකට ගැටී ඇති අතර අනතුරින් වාහන වලටද හානි සිදුව ඇත.
 
මහනුවර - කොළඹ මාර්ගයේ කොළඹ දෙසට ධාවනය වෙමින් තිබූ ජීප් රථයක් වේගය පාලනය කළ නොහැකිව කොළඹ දෙසට ගමන් ගනිමින් තිබූ බස් රථයක ගැටී ඇති බවත් එම අවස්ථාවේදී  පසුපසින් පැමිණි කාරයක් බසයෙහි ගැටීම වලක්වා ගැනීමට තැත්කිරීමේදී බස් නැවතුම අසල සිටි පුද්ගලයෙකුගේ ගැටී ඇති බවත් පොලීසිය පවසයි.                                 

 එම අවස්ථාවේ කාරය පසුපසින් පැමිණි ත්‍රිරෝද රියක්ද කාරයෙහි ගැටී ඇත. බස් රථයෙහි ගැටී ඇති ජීප් රියෙහි ගමන්ගත් කිහිප දෙනෙකුද සුලු තුවාල ලබා ඇති බව පොලීසිය කියයි.